ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී නව සැලසුමකින් මුහුණ දීමට අපේක්ෂා කරන බව වේගපන්දු යවන විශේෂඥ පුහුණුකරු රුමේෂ් රත්නායක පවසයි. ඒ අනුව බොහෝ විට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් විශේෂඥ පිතිකරුවකු ලෙස පමණක් මැදපෙළට එක්වන අතර දසුන් ශානක, ධනංජය ද සිල්වා හෝ රොෂේන් සිල්වා තුන්ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට ඇතුළත් වීමේ වැඩි ඉඩකඩක් ඇති බව පවසයි.  කෙසේ වුවත් එක්දින තරගාවලියේ දී පන්දු යැවීම සඳහා ද මැතිව්ස් යොදාගැනීමේ සැලසුමක් ඇතැයි රුමේෂ් රත්නායක පවසයි.

විශේෂයෙන් කල්කටාවේ 16 වැනි දා ඇරඹෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දී වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත තණතිල්ලක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන අතර එසේ වුවහොත් දඟපන්දු යවන්නන් තිදෙනකු කණ්ඩායමට ඇතුළත් වීමේ වැඩි ඉඩකඩක් ඇති බව ද වාර්තා වේ. නිමා වූ පාකිස්තානු ටෙස්ට් තරගාවලියේ දී පිතිකරුවන් හයක් සහ පන්දු යවන්නන් පස් දෙනකු යෙදවූ අතර මෙවර එම සංයුතිය බොහෝ විට වෙනස් විය හැකි බව අනාවරණය වේ.

මේ අතර ඉන්දියානු පි‍ලේ තුන්ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ටෙස්ට් තරගාවලියේ මුල් තරග දෙකට විවේක ගන්වා ඇති බව ද ඉන්දියානු පුවත් ඔස්සේ වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමග තරග වැදීමෙන් පසු ඉන්දියානු පිල දකුණු අප්‍රිකාවේ සංචාරයක නියැළෙන නිසා වේගපන්දු යවන්නන් කෙරෙහි ශ්‍රී ලංකාව සමග තරගාවලියේ දී වඩාත් සැලකිලිමත් වන බව වාර්තා වේ.

ධම්මික රත්නවීර