වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය පසුගියදා ටොරින්ටන් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද වෙළෙඳ සේවා ලීග් දැල්පන්දු තරගාවලියේ ‘ඒ’ කොටසේ ශූරතාව දිනාගන්නට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් වී තිබිණි.

මෙම තරගාවලියේ ‘ඒ’, ‘බි’, ‘සී’ හා ‘ඩී’ වශයෙන් කාණ්ඩ හතරකින් සමන්විත වූ අතර මීට සමගාමීව මිශ්‍ර කාණ්ඩය යටතේද තරග පැවැත්විණි.

‘ඒ’ කොටසේ අවසන් තරගය පැවැතියේ හැටන් නැෂනල් බැංකු පිල හා සේලාන් බැංකු පිල අතරය. එහිදී හැටන් නැෂනල් බැංකුව ලකුණු 51-46ක් ලෙස ලකුණු පහක ජයග්‍රහණයක් හිමිකර ගත්තේය. සිටිසන් ඩිවලොප්මන්ට් බැංකුව එහි තෙවැනි ස්ථානය දිනාගනු ලැබිය.

හැටන් නැෂනල් බැංකුව මෙම ජයග්‍රහණයට අමතරව මිශ්‍ර තරගාවලියේදී ද සේලාන් බැංකුව ලකුණු 21-10ක් ලෙස පරාජය කොට ශූරතාව දිනාගෙන තිබිණි.

ඒ හැරුණු විට ‘බි’ කාණ්ඩයේ ශූරතාව කොමර්ෂල් බැංකුව දිනාගන්නා ලද්දේ අවසන් තරගයේදී නැෂනල් ට්‍රස්ට් බැංකුව ලකුණු 29-19ක් ලෙස පරාජය කරමිනි. එහි තෙවැනි ස්ථානය හිමිවූයේ සම්පත් බැංකුවටය.

‘සී’ කාණ්ඩයේ අවසන් තරගයේදී එච්.එස්.බි.සී. බැංකු පිල ලකුණු 28-14ක් ලෙස පරාජය කළ මාස් ෂේඩ්ලයින් පිල දිනාගනිද්දී ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව ඔමේගා ලයින් ‘ඒ’ කණ්ඩායම විසින් දිනාගෙන තිබුණේ ලකුණු 25-08ක් ලෙස ඩබ්ලිව්.එන්.එස්. කණ්ඩායම පරාජය කරමිනි.

මෙම තරගාවලියේ නැගී එන කණ්ඩායම ලෙස කොමර්ෂල් ලීසිං පිලද, නැගී එන ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස ඔමේගා ලයින් ‘ඒ’ පි‍ලේ රෝෂිණී නවෝද්‍යාද, නැගී එන විදින්නිය ලෙස ඔමේගා ලයින් පි‍ලේ නසංසලා දිල්හානිද, නැගී එන ක්‍රීඩිකාව ලෙස කොමර්ෂල් බැංකුවේ එම්. පතිරගේද සම්මාන දිනාගත්හ.

මීට අමතරව තරගාවලියේ මැද පෙළ ක්‍රීඩිකාව වශයෙන් හසංජලී අමරවංශ-එච්.එන්.බි, හොඳම විදින්නිය ලෙස තර්ජනී ශිවලිංගම්-සේලාන්, හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස මන්දිරි චාමිනී-සේලාන් හා දැල්පන්දු රැජින ලෙස ගයනි දිසානායක-එච්.එන්.බි. සම්මාන ලැබූහ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය කනිෂ්ඨ විශ්වනාත් දිනා ගත්තේය.

දැල්පන්දු රැජින ලෙස  ගයනි දිසානායක සම්මාන ලැබිය.

සීවලී එදිරිවීර