අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (13) පැවති ශ්‍රී ලංකා-පාකිස්තාන තරගයෙන් පාකිස්තාන පිල කඩුලු තුනක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. මැ‍ලේසියාවේ කින්රාරාහිදී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්නද සියලු දෙනා ඕවර 49.4ක් තුළ ලකුණු 141කට සීමාවීමට සිදුවිය.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය පාකිස්තාන පිල ඕවර 32.1ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 142ක් ලැබිමත් සමග මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පි‍ලේ අපරාජිත බව නැති කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අශේන් බණ්ඩාර ලකුණු 49ක් හා කෙවින් කොත්තිගොඩ ලකුණු 20ක් ලබා සාර්ථක පිති හරඹයක යෙදුනද සෙසු පිතිකරුවන්ගෙන් අවශ්‍ය සහාය නොලැබිම තුළ ඉනිම කඩා වැටුණි. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් මුසා ලකුණු 25ට කඩුලු 3ක්ද, මුනිර් රියාස් ලකුණු 30ට කඩුලු 3ක්ද ලැබූහ. පාකිස්තාන පිල වෙනුවෙන් එම් තාහා ලකුණු 31ක් ද, රොහයිල් නසීර් ලකුණු 48ක්ද ලැබූ අතර නැවතත් ශ්‍රී ලංකා පි‍ලේ දඟපන්දු යවන්නා ප්‍රවීන් ජයවික්‍රම පන්දුවෙන් දක්ෂතා දක්වමින් ලකුණු 28ට කඩුලු 4ක් ලැබිම කැපී පෙනුණි. කෙවින් කොන්තිගොඩ, ධනංජය ලක්ෂාන් හා තිලාන් ප්‍රශාන් එක් කඩුල්ලක් බැගින් ලැබූහ.

මේ වනවිට ‘බි’ කාණ්ඩයේ පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරග තුන බැගින් ක්‍රීඩා කොට ඉන් 2ක් ජයගෙන තිබිම නිසා මුල් ස්ථාන දෙකෙහි සිටී. දළ ලකුණු වේගය මත පාකිස්තානය 1.24ක් ලබා මුල් ස්ථානයේ වීමත්, ශ්‍රි ලංකාව 0.988ක් ලබා දෙවැනි ස්ථානයේ වීමත් නිසා අද (14) ඇෆ්ගනිස්ථානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයේ තීරණය ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටයට ඒම සඳහා වැදගත් වී ඇත.

යම් ලෙසකින් ඇෆ්ගනිස්ථානය වැඩි ලකුණු පරතරයකින් එක්සත් අරාබි රාජ්‍යයට එරෙහිව ජය ලැබුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට ඒමේ වැඩි ඉඩකඩම් ලැබෙනු ඇත. මීට පෙර ඇෆ්ගනිස්ථානය පාකිස්තාන පිලට එරෙහිව කඩුලු 7ක ජයක් ලැබිය.

මේ අතර පසුගිය වර ශූරයන් වූ ඉන්දියාව, නේපාලය හමුවේ ලකුණු 15ක පරාජයක් ලැබිමද කැපී පෙනේ. කඩුලු 8ට ලුකුණු 185ක් ලැබූ නේපාල පිලට එරෙහිව ඉන්දීය පිල ලබාගත්තේ ඕවර 48.1ක් තුළ ලකුණු 166කි.

ඊයේ පැවති අනෙක් තරගයේදී බංග්ලාදේශය කඩුලු 6ට ලකුණු 335ක් ලබා මැ‍ලේසියාව ඕවර 50 තුළ කඩුලු 8ට ලකුණු 73කට සීමා කරමින් ලකුණු 262ක ජයක් ලැබිමද කැපී පෙනේ.

අවසන් පූර්ව තරග 16-17 දෙදින කින්රාරාහිදී පැවැත්වෙන අතර එම ක්‍රීඩාංගණයේම අවසන් තරගය 19දා පැවැත්වීමට නියමිතය.

ධම්මික