මෙවර අයවැයෙන් බියර් මිල අඩු කර අරක්කු මිල ඉහළ දමා තිබේ. ඒ පිළිබඳ අසන්නට ලැබෙන්නේ විවිධ අදහස්ය. ආණ්ඩුව තුළ පවා ඇත්තේ පරස්පර අදහස්ය. මේ යෝජනාව මගින් ජනතාව සැර බීම පානය අතහැර බියර් පානයට යොමු වනු ඇති බව මුදල් ඇමැතිවරයාගේ අදහසය. එහෙත් ආණ්ඩුවේ තවත් ඇමැතිවරයකු පවසන පරිදි බියර් මිල අඩු කිරීම මෝඩ වැඩකි. අඩු කළ යුත්තේ බියර් නොව කම්කරු ජනතාව පානය කරන ගල් අරක්කු මිල බව කම්කරු ඇමැතිවරයාගේ අදහසය.

බියර් බදු පහත දමා සැර බීම පානය අඩු කිරීමේ උපාය අලූත් එකක් නොවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේ දී මේ ආකාරයටම බියර් සඳහා පැවති 39%ක බද්ද 10% දක්වා අඩු කළේය. සැර මත්පැන් මිල ඉහළ දැමීමට කටයුතු කළේය. අපේක්ෂිත ආකාරයට බියර් පානය ඉහළ ගොස් සැර බීම පානය අඩු වූයේ නම් මේ වන විට රටේ සැර බීමහල් සියල්ල කෙසේ වෙතත් අඩක්වත් වැසී ගොස් තිබිය යුතුය. රජයේ සුරා බදු ආදායම පහළ යා යුතුය. එහෙත් 2003 වසරේ සුරා බදු ආදායම 21%න් ඉහළ ගොස් 2004 වසරේ රු. දශ ලක්ෂ 13545ක් වූ සුරා බදු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

මේ අනුව බියර් මිල පහළ දමා අරක්කු මිල ඉහළ දමා සැර බීම පානය අඩු කිරීම වරක් මේ රටේ අසාර්ථක වූ යෝජනාවකි. හෝද හෝදා මඬේ දැමීමකි. ඒ යෝජනා කෙතරම් අසාර්ථක ද යත් මේ වන විට ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල සුරා පානය යුරෝපයේ මෙන් පස් ගුණයකි. එනම් යුරෝපීය පුද්ගලයකු වසරකට සුරා ලීටර් භාගයක් බොන විට ශ‍්‍රී ලංකිකයකු ලීටර් 3.5ක් පානය කර තිබේ. යුරෝපයේ 95%ක් ජනතාව සුරාවට ඇබ්බැහි වුවද ලංකාවේ එම ප‍්‍රමාණය 20%ක් බවද අවධාරණය කළ යුතුය. මන්ද ඒක පුද්ගල සුරා දර්ශකය ගණනය කරන්නේ වසරේ පරිභෝජනය කර ඇති සුරා ප‍්‍රමාණය රටේ සමස්ත ජනගහනයෙන් බෙදා මිස සුරාව බොන අයගේ ප‍්‍රමාණයෙන් බෙදා නොවන නිසාය.

එසේම ගල් අරක්කු බෝතලයක නිෂ්පාදන වියදම රුපියල් 150ක් 200ක් පමණ වන අතර එතැන් පටන් එහි ඇත්තේ බදුය. මෙලෙස බදු ඉහළ දැමීම මගින් සැර බීම හෝ සුරා පානය අඩු නොවන අතර සිදුව ඇත්තේ ජනතාව තමා උපයන මුදලින් වැඩි කොටසක් මතට ද වෙන් කිරීම නිසා පවුලේ අගහිඟකම් ඉහළ යාමය. නිවසට ගෙන යන හාල් තුන පහ ටික අඩු වීමය. එසේම ජනතාව කසිප්පු ආදි නීති විරෝධි සුරා වර්ග වෙත ඇබ්බැහි වීමය.

මේ ප‍්‍රමිතියෙන් තොර සැර බීම වර්ග පානය නිසා රටේ ශ‍්‍රම බලකාය විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වන අතර ඔවුන්ගේ දායකත්වය රටේ ආර්ථිකයට නොලැබී යයි. ඔවුන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා විශාල මුදලක් ආණ්ඩුවට දැරීමට සිදුවෙයි. එපමණක් නොව රජයට විශාල බදු මුදලක් අහිමිවෙයි. අවසානයේ රජයට සුරා බදු ආදායමට වඩා විශාල වියදමක් සුරාව නිසා ඇති වන රෝගාබාධවලට ප‍්‍රතිකාර සඳහා දැරීමට සිදුවෙයි. එක්තරා වසරක සුරා බදු ආදායම රුපියල් බිලියන 143ක් වන විට සුරාව නිසා හටගත් රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමට රුපියල් බිලියන 212ක් වියදම් කිරීමට සිදුව තිබිණි.

මේ අනුව අරක්කුවලට බදු ගසා සුරා පානය අවම කළ නොහැකි බවත් සුරා බදු මගින් උපයන ආදායම මෙන් කිහිප ගුණයක් සුරා පානය නිසා ඇති වන ලෙඩ රෝග සඳහා ප‍්‍රතිකාර පිණිස වැයවන බවත් තහවුරු වෙයි. බියර් මිල පහත දමා කළ හැක්කේ සුරාව සඳහා අලූත් පරපුර කැඳවා ගැනීමට එහා ගිය දෙයක් නොවේ. රටේ ජනතාව මතින් ඈත් කිරීම පිණිස අප වෙනත් උපායමාර්ග වෙත යා යුතුය. විශේෂයෙන් සුරාවෙහි ආදීනව පිළිබඳ සමාජය දැනුම්වත් කරමින් ආකල්පමය පරිවර්තනයක් වෙත යා යුතුය. සුරා පානය පිළිබඳ අපේ රටේ පවතින යථාර්ථය වෙත දෑස් යොමු කළ යුතුය. එසේ නොමැතිව බටහිර රටවල් දෙස බලාගෙන අපේ රටට ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම ගඟට ඉනි කැපීමක් පමණි.