”අප පෞද්ගලික බස්රථ සේවාවට අමතරව, ත‍්‍රිරෝද රථ මෙන්ම, පාසල් වෑන් රථ සේවාවද මෝටර් රථවාහන ප‍්‍රඥප්තිය අනුව මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට පැවැරී තිබෙන බැවින්, 2018 වර්ෂයේ සිට  මෙහි උපරිම සේවාව ජනතාවට ලබාදීමට සැලසුම්කර තිබෙනවා. ඒ අනුව දැනට යෝජනා වී තිබෙන විද්‍යුත් කාඞ්පත් භාවිතය ඉදිරි වර්ෂයේ සිට සෑම බස් රථයකම ක‍්‍රියාත්මක කිරීම කොන්දොස්තරවරුන්ට අනිවාර්ය කිරීමෙන්, මගී ජනතාවට එයින් විශාල සහනයක් ලැබෙනවා” යැයි  බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති, දේශබන්දු තුසිත කුලරත්න මහතා පැවසීය.

එම අධිකාරියේ සභාපතිවරයා එසේ පැවසුවේ, පසුගියදා (9*  බත්තරමුල්ලේ ‘රන්මග පාය’ එම මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් කතා කරමින් පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති, දේශබන්දු තුසිත කුලරත්න මහතා මෙසේද පැවසීය.

”බස්නාහිර පළාතේ 454ක් පමණ මාර්ග සංඛ්‍යාවක් සඳහා පෞද්ගලික බස්රථ 6200ක සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. මේ මගින් දිනකට විසිපන් දහසක් පමණ මගීන් සංඛ්‍යාවක් තම ගමන් පහසුව ලබා ගන්නවා. මෙම බස්රථ නියාමනය කිරීම සඳහා දිස්ත‍්‍රික්ක තුනේ කාර්යාල හතක් පිහිටුවා තිබෙනවා.

1918 සිදුවූ ඓතිහාසික ඌවේ කැරැුල්ලට වසර දහයක් සපිරෙන 2018 වර්ෂයේ සිට මෙම විප්ලවීය ප‍්‍රවාහන වෙනස අප ක‍්‍රියාත්මක කරනවා. එහිදී විද්‍යුත් කාඞ්පත, ජංගම දුරකථන රිලෝඞ් කරගන්නා අයුරින් මුදල් ගෙවා රීලෝඞ් කර ගැනීමටත් පහසුකම් යොදනවා. මගීන්ට ඉතිරි මුදල් සහ ටිකට්පත් ලබා නොදී කොන්දොස්තරවරුන් පැහැරහරින අවස්ථාවන්ට මෙය සැබෑ පිළියමක් වෙනවා. පුද්ගලික අංශයේ සහායෙන් සෑම තැනකම පිහිටි මගී ආවරණ ඉදිකිරීමටත් අවශ්‍ය කටයුතු යොදනවා. කිරිඳිවැල, පානදුර සහ දිවුලපිටිය යන ස්ථානවල පිහිටි ප‍්‍රධාන බස්රථ නැවතුම් පොළවල් දැනටමත් නවීකරණය කර තිබෙනවා. 2018 වර්ෂයේදී තවත් ප‍්‍රධාන බස්රථ නැවතුම්පොළවල් 6 ක පමණ සංඛ්‍යාවක් සංවර්ධනය කරනවා. පොදු ප‍්‍රවාහන සේවාවේ පවතින අඩුපාඩු ගැන සෙවීමට දිස්ත‍්‍රික්ක තුනේ පිහිටි කාර්යාලවල නිලධාරීන් යොදවා හදිසි වැටලීම් සිදුකිරීමටද පියවර ගන්නවා.”

ටිකට් පත් නිකුත් නොකරන, ඉතිරි මුදල් ලබා නොදෙන, විනය ගරුකව නොහැසිරෙන, අශීලාචාර අන්දමින් මගීන්ට කතා කරන, නියමිත ගමනාන්තය දක්වා බස්රථ ධාවනය නොකර, අතරමග නතර කිරීම වැනි බස්රථවල කොන්දොස්තර සහ රියැදුරන්ගෙන් සිදුවන අඩුපාඩු සහ අවස්ථා පිළිබඳව මගී ජනතාවගෙන් ලැබෙන පැමිණිලි අනුව, ක‍්‍රියාකර ඔවුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නවා. එමෙන්ම අදාළ බස්රථවල ධාවන බලපත‍්‍රය පවා අත්හිටුවීමටත් ක‍්‍රියා කරනවා. මේවා පෙන්වා දෙන ජන මාධ්‍යයටත්  අපි නිරතුරුවම ස්තූතිවන්ත වෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් මතු කළ පැනයකට පිළිතුරු සැපයූ සභාපතිවරයා
කොන්දොස්තර සහ රියැදුරන්ගෙන් සිදුවන වැරදි සම්බන්ධව ක්ෂණිකව අධිකාරිය දැනුවත් කිරීම සඳහා මගී ජනතාවට දැක ගැනීමට හැකිවන පරිදි, බස්රථය තුළ පැහැදිලිව දුරකථන අංක සහ බස්රථයේ අංකය පළකිරීමට කටයුතු කරනවා.

බස්රථවල පිටුපස එම දැන්වීම දැනටමත් යොදා තිබෙන අතර, ඉදිරියේදී බස්රථය තුළ එම දැන්වීම යෙදීමට කටයුතු කරනවා. කාර්යාල ප‍්‍රවාහන සේවාව සඳහා යොදවා තිබෙන බස්රථවලින් අදාළ ගමන් මාර්ගයේ මගීන්ද ප‍්‍රවාහනය කිරීම නිසා එම ගමන් මාර්ගයේ ධාවනය වන බස්රථවලට ආදායම අහිමි වෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. මේ ගැන අප අධිකාරිය පොලිසිය දැනුවත් කිරීමටත්, අප බලධාරීන් යොදවා පරීක්‍ෂා කිරීමත් සිදුකර ඒ අනුව ධාවනයේ යෙදෙන බස්රථවල සේවකයින්ට එරෙහිව විනය පියවර ගන්නවා. අසූ දහසක් පමණ වන දිවයිනේ ධාවනයේ යොදවා තිබෙන පෞද්ගලික බස්රථ සේවකයින්ට රටේ ක‍්‍රියාත්මක වන කාර්මික නීතිය පරිදි, සේවක අර්ථ සාධක සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලේ වරප‍්‍රසාද ලබාදීමට අවශ්‍ය පියවර ගන්නවා.” යැයි එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන* විජේකුමාර රත්නායක යන මහත්වරුන්ද සහභාගි වූහ.

ගාමිණී සරත් ගුණවර්ධන – මහරගම