පිරවුම්හල්වලට ඉන්ධන ප්‍රවාහනය කරන බවුසරයකින් පෙට්‍රල් ඉවත්කර, ඊට භූමිතෙල් මිශ්‍ර කිරීමේ මහා පරිමාණ ජාවාරමක් හෙළිදරව් කර ගැනීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකා දඹුල්ල කඳවුරේ නිලධාරීන් ඊයේ (13) සමත්විය.
ත්‍රිකුණාමලයේ සිට මාත‍ලේ, පල්‍ලේ‍පොළ සමුපකාර ඉන්ධන පිරවුම්හලට පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක්, ග‍ලේවෙල කලාවැව මාර්ගයේ, දේවහූව,  බුල්නෑව ප්‍රදේශයේ අතහැරදැමූ ගල් වළක් සහිත ප්‍රදේශයක නවතා මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකර ඇත.

මේ සම්බන්ධව ‍පොලිස් විශේෂකාර්ය බළකායේ දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කරන ලදී.

බවුසර් රථයේ රියැදුරු සහ සහායකයා එක්ව පෙට්‍රල් ප්‍රවාහන ටැංකියේ මුද්‍රා සූක්ෂම ලෙස ඉවත්කර එහි පෙට්‍රල් බැරල් කීපයක් ඉවත්කර ඇත.

මෙම ජාවාරමට ප්‍රදේශයේ පුද්ගලයකු ද සම්බන්ධ  අතර ඔහු කුඩා ලොරි රථයක් ගෙනැවිත් එම පෙට්‍රල් තොග රැගෙන යන බව අනාවරණය විය.

මෙලෙස බවුසරයෙන් ඉවත් කෙරෙන පෙට්‍රල්වලට සරිලන පරිදි, ඉතිරි පෙට්‍රල් තොගයට  භූමිතෙල් එකතු කෙරේ.
බවුසරයෙන් ඉවත් කරන ලද පෙට්‍රල් ලීටර් 260ක්ද, බවුසර් රථයේ රියැදුරු සහ සහායකයා ද ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලදී.

පෙට්‍රල් රැගෙන යාමට පැමිණි කුඩා ලොරි රථයද අත්අඩංගුවට ගැනුණු අතර එහි රියැදුරු පලාගොස් ඇත.
මෙම බවුසර් රථය මුස්ලිම් ජාතික කොංග්‍රසයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. මහරුෆ් මහතාට අයත් එකක් බව පැවසේ.

මේ සම්බන්ධව අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා  මෙසේ කියා සිටියේය.
“මේ බවුසරයේ වැඩ කරපු අය ලීටර් 25ක් හොරකම් කරලා තියෙනවා. ‍පොලිසියට මම කිව්වා මේ පැමිණිල්ල විභාග කරලා ඒ අයට විරුද්ධව පියවර ගන්න කියලා. මේ බවුසරය අයි.ඕ.සී. එකෙන් දුන්න එකක්.  මගේ ළඟ රියැදුරන් 10ක් වැඩ කරනවා.” යැයි මන්ත්‍රීවරයා පැවසීය.

‍පොලිස් විශේෂ කාර්ය බළකායේ ත්‍රිකුණාමලය සහ වව්නියාව කලාප අණදෙන නිලධාරී ‍පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් මත දඹුල්ල කඳවුරේ, දෙවන අණදෙන නිලධාරී ‍පොලිස් පරීක්ෂක අයි. රණතුංගගේ, උප ‍පොලිස් පරීක්ෂක බණ්ඩාර, ‍පොලිස් සැරයන්වරුන් වන (8786) ජීවානන්ද, (22965) ගාමිණී, (10110) අමරසිංහ, ‍පොලිස් කොස්තාපල්වරුන් වන (83085) තිළිණ, (75591) ගුණතිලක, (6399) ධම්මික, ‍පොලිස් කොස්තාපල් රියැදුරු (80880) විජේතුංග සහ නිලධාරීන් මෙම වැටලීම කරන ලදී.

සාලිය කුමාර ගුණසේකර