ටී පනස් හය ගිනි අවි තුනක්ද සහිතව සැක කටයුතු මෝටර් රථයක් ගම්පහ රෝහල අසල දමා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්  පෙරේදා (12) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හයිබ්‍රිඩ් මෝටර් රථය මහරගම ප්‍රදේශයේ වාහන කුලියට සපයන ස්ථානයකින් ලබා ගැනීම සඳහා ඇප අත්සන් කළ පුද්ගලයා සහ අදාළ අපරාධය සඳහා වාහනය ලබාදීමට ආධාර අනුබල දුන් අයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එක් සැකකරුවකු අයගම, ඉන්නකන්ද ප්‍රදේශයේදී ද, අනෙක් සැකකරු නිකවැරටිය  ගලගෙදර ප්‍රදේශයේදීද අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 27 සහ 22 යන වයස්වල පසුවන මෙම පුද්ගලයින් දෙදෙනා මීට පෙර අපරාධවලට සම්බන්ධ වූවන් නොවන බව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

මෙම මෝටර් රථය ලබාගත් ප්‍රධාන සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

මෙම වාහනය රෝහල අසල දමාගිය පුද්ගලයා ඔහුගේ බිරිඳ සහ ඔවුන්ට නවාතැන් දුන් අයකු මීට පෙරදී අත්අඩංගුවට ගන්නා ලදී.

ගම්පහ ප්‍රදේශයේ යම් අපරාධයක් සඳහා මෙම මෝටර් රථය යොදා ගැනීමට නියමිතව තිබූ බව ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

සාලිය කුමාර ගුණසේකර