මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට දීර්ඝ කාලීනව බදු දීමට විරෝධය පළකරමින් හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය ඉදිරිපිටදි පසුගිය 06දා විරෝධතාව දැක්වීමට අදාාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා ඇතුළු 31 දෙනා ඇප මත මුදා හරින ලෙස හම්බන්තොට මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා ඊයේ (13* නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාර, විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න ඇතුළු 31 දෙනෙකි. ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි 31 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී.

ඇප ලබා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා මෙසේ පැවසීය.
මාස එක හමාරකට ආසන්න කාලයක් මෙම සිද්ධියට අදාාළව සැකකරුවන් බන්ධනාගාර ගතව සිටියා. ඒ කාල සීමාව තුළදි වරින් වර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකුට සුවිශේෂී හේතූන් මත ඇප ලබා දුන්නා. ඒ අනුව අද දිනයේ නඩුව කැ`දවූ අවස්ථාවේදීත් සැකකරුවන් දෙදෙනෙකුට මුලින් ම ඇප ලබා දිමට මහෙස්ත‍්‍රාත්වරයා කටයුතු කළා. ඒ ඒ. එස්. පී.  දලූවත්තගේ කනේ පහරට ලක් වූ ඇපල් පුවත්පතේ මාධ්‍යවේදියා හා 20 වන සැකකරු අධ්‍යාපනය ලැබීම හේතු කරගෙන අද දවසේදී ඇප ලබා දුන්නා. අනෙකුත් සැකකරුවන්ගේ ඇප ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව නැවත වතාවක් ගරු මහෙස්ත‍්‍රාත් තුමා පොලිසියෙන් විමසීමක් කළා මේ අදාළ නඩුකරයේ පරීක්ෂණ කටයුතු අවසන් කරලද තියෙන්නේ කියලා. මේ නඩුකරයට අදාළ පරීක්ෂණ වාර්තා නීතිපතිට යොමු කරලා මහාධිකරණයේ චෝදනා ගොනු කිරීමට අවශ්‍ය කටයුතු කරලද තියෙන්නේ කියලා පොලිසියෙන් විමසීමක් කළා. ඇත්තටම මේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත් අවසන් සැකකරු අත්අඩංගුවට පත්වෙලත් දින 34කට වැඩි කාලයක් ගෙවී ගිහිල්ලත් පොලිසිය අසමත් වෙලා තියෙනවා පරීක්ෂණ කටයුතු අවසන් කරන්න.

කෙසේවෙතත් පොලිසියෙන් මෙම සැකකරුවන් නැවත බන්ධනාගාර ගත කරන ලෙස කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ මහෙස්ත‍්‍රාත්වරයා තීන්දු කරනවා තව දුරටත් දිගින් දිගටම මේ විදියට සැකකරුවන් බන්ධනාගාර ගත කරලා ඔවුන්ගේ නිදහස අහිමි කිරීම අසාධාරණ බව. ඒ අනුව විමර්ශනවල ප‍්‍රගතියක් දක්නට නොමැති නිසාත්, විමර්ශන කඩිනම් වීමක් හෝ චෝදනා ගොනු කිරීමක් හෝ නීතිපතිවරයාට ගොනුව යොමු කිරීමක් හෝ කිසිවක් සිදු නොකිරීම මත අනෙකුත් සියලූම සැකකරුවන්ටත් ඇප ලබා දීමට මහෙස්ත‍්‍රාත් වරයා තීරණය කළා. ඒ අනුව සියලූම සැකකරුවන්ට අද වන විට ඇප ලබා දීම සිදු වෙලා තියෙනවා.

විරෝධතාවයට අදාාළව නඩු විභාගය පැවති  ඊයේ(13* සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්  06 වන සැකකරුට ඒ. එස්. පි.  දළුවත්ත විසින් එල්ල කළ අමානුෂික ප‍්‍රහාරය සම්බන්ධයෙනුත් ගරු අධිකරණයෙන් විමසීමක් කළේය. එහිදී නීතිඥවරුන් අධිකරණයෙන් විමසුවේ ඒ. එස්. පී.  දලූවත්ත සම්බන්ධයෙන් අධිකරණය කුමන ක‍්‍රියාමර්ගයක් ගෙන තිබේද යන්නයි. එහිදී ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කළ මහෙස්ත‍්‍රාත්වරයා පැවසුවේ ඒ පිළිබදව 06 වන සැකකරුට පුද්ගලිකවම ගොස් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන ලෙසය. පැමිණිල්ල යොමු කිරීමෙන් පසු කඩිනමින්  අදාළ පියවර ගෙන හානියට පත් සැකකරුට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බව මහෙස්ත‍්‍රාත්වරයා පැවසීය.

ඇප හිමි වීමෙන් පසු අධිකරණයෙක් පිටතට පැමිණි පිරිස් මල් මාලා දමා පිළිගත් අතර, සියලූ දෙනාම හම්බන්තොට වෙරළ උද්‍යානයට ගොස් සතුට සැමරූහ. නැවත නඩු විභාගය මාර්තු 12 වන දින දක්වා කල් තැබුණි.

නුවන් ජයසේකර – සූරියවැව/ අජිත් අම්බලන්තොට