කිසිවකු මව් කුස ගැබ් ගත් මොහොතේ පටන්  ඕනෑම අවස්ථාවක මිය යා හැකිය. මරණයට බාල, තරුණ, මහලූ කියා භේදයක් නැත. සියලූ දෙනා මෙලොව ජනිත වන්නේ මරණය නළලේ කොටා ගෙනය. ලෝක ස්වභාවය එයයි. පැරණි ඍෂිවරුන් ”පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ” යැයි කියා ජීවිතය තණ පතක් අග රැුඳුණු පිනි බිඳකට උපමා කළේ ඒ අස්ථිරතාව නිසාය.

කෙසේ වුවද අපට අකල් මරණවලින් ගැලවී දීර්ඝායුෂ විඳිය හැකි නම් එය භාග්‍යයකි. පරමායුෂ විඳිය හැකි නම් එය වාසනාවකි. ආයුෂ සම්පත්තියක් ලෙස හඳුන්වන්නේ එහෙයිනි. බුදු දහම අනුව මෙකල මිනිසාගේ පරමායුෂ අවුරුදු 120කි. එහෙත් එම පරමායුෂ විඳින අය අද අප අතර දක්නට නැත. බුදුන් දවස විශාකා මහා උපාසිකාව වැනි අය අවුරුදු 120ක පරමායුෂ භුක්ති විඳි බව පැවසෙයි.

දැන් ක‍්‍රමයෙන් මිනිස් පරමායුෂ නැතහොත් ආයු කාලය පහත වැටෙමින් තිබේ. මේ වන විට ලාංකිකයකුගේ උපතේ දී ආයු අපේක්ෂාව අවුරුදු 77.9කි. එය සමස්ත ලෝක ආයු අපේක්ෂාවට සාපේක්ෂව 10%ක පමණ ඉහළ තත්ත්වයකි. හොඳ තත්ත්වයකි. මේ රටේ වැසියකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 77ක් වුව ද ඊට වඩා ජීවත් වන අය මෙරට නැති බවක් නොකිය වෙයි. අදත් අවුරුදු 80ක් හෝ 90ක් කිසිදු බරපතළ ලෙඩක් දුකක් නැතිව ජීවත් වන වැඩිහිටියෝ රට පුරා වෙසෙති. එපමණක් නොව අවුරුදු 100 ඉක්මවා ජීවත් වීමේ භාග්‍ය ලද වැඩිහිටියෝ ද අප අතර වෙසෙති.

මේ නව විට වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් 350ක් පමණ ශ‍්‍රී ලංකාවේ ජීවත් වන බව පැවසෙයි. අවුරුදු 100ක් ඉක්මවා දීර්ඝායුෂ භුක්ති විඳින මෙපමණ පිරිසක් අපේ රටේ වාසය කරන බව දැන ගන්නට ලැබීම පවා වාසනාවකි. එය රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිනුම් දණ්ඩක් ලෙස සැලකෙයි. සැබවින්ම ඉන් නූතන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතියට වඩා මෙරට මුල් බැස පැවති සාම්ප‍්‍රදායික ජීවන ක‍්‍රමයේ රුව ගුණ කියාපාන සංකේතයක් ලෙස ගැනීම වඩා නිවැරදිය.

රටේ දියුණුව අභිවෘද්ධිය පිණිස සිය කාලය ශ‍්‍රමය වැය කොට අද ජීවිතයේ සැඳෑ සමය ගත කරන එම වැඩිහිටි පිරිස රැුක බලා ගැනීම, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වර්තමාන පරම්පරාවේ වගකීමකි. එවැනි පසුබිමක මේ වැඩිහිටි පිරිස අතරින් අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් පිරිසට මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය අගය කළ යුතුය.

සැබැවින් ම මෙය මීට බොහෝ කලකට පෙර ගත යුතුව පැවති වැදගත් තීන්දුවකි. මේ වැඩිහිටි පිරිස අතරින් බහුතරය අද ජීවත් වන්නේ සිය දරුවන්ගේ සෙවණේ ඔවුන්ගේ ආදායමින් විය හැකිය. ඇතැම් විට විශ‍්‍රාම වැටුප් ලබන අය ද ඒ අතර සිටිය හැකිය. කෙසේ වුවද අවුරුදු 100ක වැඩිහිටියකු රැුකබලා ගැනීම පවා සුළුවෙන් සැලකිය යුතු කාරණයක් නොවේ. ඒ සඳහා විශාල කාලයක් ශ‍්‍රමයක් වැය කිරීමට සිදුවෙයි. මේ පිරිසට නිරෝගී සැනසිලි දායක ජීවන පසුබිමක් ලබා දීමට යම් වියදමක් දැරීමට සිදුවෙයි.

ඒ සඳහා මාසිකව රුපියල් 5000ක් නොව ඊට වැඩි මුදලක් වුව ලබා දිය හැකි නම් එය වැදගත්ය. එවිට වැඩිහිටියා තමන්ට බරක් නොව ආශීර්වාදයකි; අභිමානයකි; යන හැඟීම සමාජයේ ඇති වන අතර වැඩිහිටියා තුළ ද අභිමානයක් සතුටක් ඇති වනු ඇත. තවත් නිරෝගී සුව ලැබෙනු ඇත. ජීවිතාශාව දැල්වෙනු නියතය.

එහෙයින් අවුරුදු 100ට වඩා වැඩිහිටියන් සඳහා යෝජිත රුපියල් 5000 දීමනාව අඩු ආදායම්ලාභී පවුල්වලට සීමා කළ යුතු යැයි අපට සිතෙන්නේ නැත. දැනට ශ‍්‍රී ලංකාවේ ජීවත් වන්නේ එවැනි වැඩිහිටියන් 350ක් නම් ඒ සියලූ දෙනා සඳහා අදාළ දීමනාව ලබා දීමට මාසයකට වැය වන්නේ රුපියල් දාහත් ලක්ෂ පනස් දහසකි. දුප්පත් පොහොසත් භේදයක් නැතිව දේශපාලකයන් නඩත්තු කිරීම සඳහා මාසිකව කෝටි ප‍්‍රකෝටි ගණන් මහජන මුදල් වියදම් කරන රටක මෙය කෙතරම් සොච්චම් මුදලක්ද?