වෛද්‍යවරුන්ගේ අනුමැතිය නොමැතිව තලවාකැ‍ලේ නගරයේ ඖෂධ වෙළෙඳසලකින් මත්පෙති ලබාදුන් සැකකරුවකු තලවාකැ‍ලේ ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා නුවරඑළිය දිස්ත්‍රිත් රජයේ ඖෂධ පාලක විසින් පෙරේදා (11දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඖෂධසල් හිමියා විසින් ප්‍රදේශයේ තරුණයන්ට කාලයක් තිස්සේ මෙම මත්පෙති ලබාදෙන බවට තලවාකැ‍ලේ ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත නුවරඑළිය දිස්ත්‍රික් රජයේ ඖෂධ පාලක සරත් විජේතුංග මහතා විසින් උපාය දූතයකු යොදා ගනිමින් මෙම වැටලීම සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු ඇපකරයක් මත මුදාහැර ඇති අතර ඔහුට එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බව නුවරඑළිය දිස්ත්‍රික් රජයේ ඖෂධ පාලක සරත් විජේතුංග මහතා පැවසීය. මධ්‍යම පළාතේ ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන ‍පොලිස් අධිකාරී අසිත රත්නසූරිය මහතාගේ උපදෙස් පරිදි තලවාකැ‍ලේ ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අනදෙන නිලධාරී ‍පොලිස් පරීක්ෂක සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ‍පොලිස් පරීක්ෂක සුගත්, උ.‍පො.ප. කලගොඩැල්ල, උ.‍පො.ප. මධුශංක, සැරයන් බණ්ඩාර (13443), සැරයන් ශ්‍රියානන්ද (12432), ‍පො.කො. වීරරත්න (70161), ‍පො.කො. කුමාර (77035), ‍පො.කො. ධම්මික (77713) යන නිලධාරීහු වැටලීම සිදුකළහ.

ඡායාරූප සහ සටහන- රංජිත් රාජපක්ෂ-හැටන්