පසුගියදා නිමාවට පත්වූ ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියට අයත් තරග හතරේදී සී.එච්. පිලට දෙවැනි පරාජය අත්කර දුන් යුද හමුදාව පළමු ජයග්‍රහණය වාර්තා කළ අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගුවන් හමුදාව ලකුණු 46-23ක් ලෙසින් හැව්ලොක්ස් පිල වෙතින් පරාජයට පත් විය.

මේ අතර පසුදින ‍පොලිස් ක්‍රීඩාංගණයේදී සත්කාරකයින්ට ලකුණු 43-11ක බරපතළ පරාජයක් භාර දෙන්නට පසුගිය වසරේ ලීග් ශූරතාව දිනූ මහනුවර පිල සමත් වෙද්දී ලොන්ඩන් පෙදෙසේ පැවැති තරගයේදී සී.ආර්. පිල ප්‍රබල නාවික හමුදා පිල ලකුණු 38-23ක් ලෙස පරාජය කරන්නට සමත්ව තිබුණේ කරට කර සටනකින් අනතුරුව දෙවන භාගයේදී ප්‍රදර්ශනය කළ දස්කම් උපකාර කර ගනිමිනි.

කොළඹ තුරඟ තරග පිටියේ පැවැති යුද හමුදාව හා සී.එච්. පිල අතර තරගයේදී පසුගිය වසරට සාපේක්ෂව සී.එච්. පි‍ලේ දස්කම් වර්ධනය වී ඇති බවත් දක්නට ලැබුණු අතර ඒ නිසාම ඔවුන් පළමු භාගයේදී ලකුණු 15-10ක් ලෙස වැඩි වාසි අත්කර ගන්නට සමත්ව තිබුණි.

එහෙත් දෙවන භාගයේදී යුද හමුදාව තවත් ලකුණු දහයක් වාර්තා කරද්දී සී.එච්. පිල එක ලකුණක් හෝ වාර්තා කිරීමට අ‍පොහොසත් වීම නිසා යුද හමුදාවේ ජය තහවුරු විය.

ජයග්‍රාහී යුද හමුදාව උත්සාහක දිනුම් දෙකක් ප්‍රවර්තන දෙකක් හා දඬුවම් පහර දෙකක් ඔස්සේ ලකුණු රැස් කළ අතර සී.එච්. පිල ලකුණු රැස් කර තිබුණේ උත්සාහක දිනුම් දෙකකින් හා ප්‍රවර්තනයක සහ දඬුවම් පහරක උපකාරයෙනි.

හැව්ලොක් ක්‍රීඩාංගණයේ හැව්ලොක්ස් පිල හා ගුවන් හමුදාව අතර පැවැති තරගයෙන් හැව්ලොක්ස් පිල ලකුණු 46-23ක පහසු ජයක් ලැබිය.

එම තරගයේ පළමු භාගයේදී ලකුණු 22-09ක් ලෙස ඉදිරියෙන් සිටි හැව්ලොක්ස් පිල ජයග්‍රහණය උදෙසා උත්සාහක දිනුම් 8ක් වාර්තා කොට ඉන් දෙකක් සාර්ථකව ප්‍රවර්තනය කර තිබුණි.

ගුවන් හමුදාවේ ලකුණු 23 සටහන් වූයේ උත්සාහක දිනුම් 2ක ප්‍රවර්තන 2ක් හා දඬුවම් පහර 3ක් ඔස්සේය.
මේ අතර ‍පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ‍පොලිස් පිල අසරණ කළ මහනුවර පිලට ලකුණු 43-11ක පහසු ජයක් හිමි විය.

එහිදී ‍පොලිස් පිල උත්සාහක දිනුමක්, දඬුවම් පහරක් හා එක් ඩේ‍රාප් ගෝලයකින් ලකුණු රැස් කරද්දී මහනුවර පිල උත්සාහක දිනුම් 7කින් හා ප්‍රවර්තන 4කින් ලකුණු පුවරුව සරසනු ලැබිය.

මහනුවර පි‍ලේ තිළිණ විජේසිංහ එහිදී උත්සාහක දිනුම් 3ක් වාර්තා කොට ප්‍රවර්තන 4ක්ද සාර්ථක කර ගනිමින් ලකුණු 23ක් එකතු කර දී කැපී පෙනුණි.

මේ අතර ලොන්ඩන් පෙදෙසේදී සී.ආර්. පිල සමග සටන් වැදුණු ප්‍රබල නාවික හමුදා පිලට අකැමැත්තෙන් හෝ භාර ගන්නට සිදුව තිබුණේ ලකුණු 38-23ක අනපේක්ෂිත පරාජයකි.

මෙම තරගයේ පළමු භාගයේදී ලකුණු 23-07ක් ලෙස පැහැදිලි වාසියක් හිමි කර ගන්නට නාවික හමුදාව සමත් වී තිබුණද අමතක නොවන සටනක් දුන් සී.ආර්. පිල දෙවන භාගයේදී ලකුණු 31ක්ම වාර්තා කර තිබුණේ ප්‍රතිවාදීන්ට එකම ලකුණක් හෝ රැස් කිරීමට අවස්ථාව ලබා නොදෙමිනි.

ජයග්‍රාහි සී.ආර්. පිල ගෝල 5කින් හා දඬුවම් පහර එකකින් ලකුණු 38 වාර්තා කළ අතර නාවික හමුදාවේ පිළිතුරු ලබාදී තිබුණේ ගෝල 2කින් හා දඬුවම් පහර 3ක උපකාරයෙනි.

සීවලී එදිරිවීර
ඡායාරූප : Papare.com