අවම වියදමකින් හා උපරිම උසස් තත්ත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු සිදුකිරීමට හා එහි නඩත්තු කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරීමත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අපේක්ෂා කරයි.

මේ පිළිබඳව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා සාකච්ඡාවක් කිරීමෙන් පසුව තීරණය කර ඇති බව අනාවරණය වේ. ක්‍රීඩා සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ලබාදීම සඳහා යුද හමුදාපතිවරයා කැමැත්ත පළ කිරීම විශේෂත්වයකි.

කිලිනොච්චි නගරයේ ඉදිවෙමින් පවතින උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණයේ වැඩ නිම කිරීම සඳහා යුද හමුදා ඉංජිනේරු බළකායේ දායකත්වය ලබාගැනීමටත් හදිසි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු කිලිනොච්චිය ආරක්ෂක සේවා මූලස්ථානය වෙත පැවරීමටත් තීරණය වී තිබිමද මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයකි.

මේ අතර ලබන 2018 මාර්තු 1 දිනට යෙදී ඇති ප්‍රථම ශ්‍රී ලාංකික ඔලිම්පික් පදක්කම්ලාභී ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරික සැමරුම වෙනුවෙන් ඔහු පදිංචිව සිටි මහනුවර පිහිටි නිවස ප්‍රතිසංස්කරණය කිරීමටද ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ලබාදීමට යුද හමුදාපතිවරයා කැමැත්ත පළකර තිබේ.

මේ අතර මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සිටින ජාතික සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් දීර්ඝකාලීන සංචිතය තුළ පුහුණුව සඳහා පූර්ණකාලීනව නිදහස් කරගැනීම සංචිත සඳහා අලුතින් තෝරාගනු ලබන දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවදුරටත් යුද හමුදාවට බඳවා ගැනීමට සලකා බැලීම, යුද හමුදා ක්‍රීඩා සංකීර්ණ හා යටිතල පහසුකම් පළාත් හා ජාතික සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම සඳහා භාවිත කිරීමට යෝග්‍ය වැඩපිළිවෙළක් සැකසීම යුද හමුදා සාමාජිකයන් අතරින් විවිධ ක්‍රීඩා ඉසව් සඳහා හැකියාවන් හා විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හා ක්‍රීඩා සංගම් වෙත අවස්ථාව ලබාදීම, ක්‍රීඩා හා ශරීර සුවතා වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබාදීම සහ ක්‍රීඩා ශක්ති ඉදිරි දැක්ම ව්‍යාපෘතිය ප්‍රාදේශීය ‍ලේකම්, කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ලබාගැනීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු යුද හමුදා උසස් නිලධාරීන්ගේ සාකච්ඡාවට භාජනය විය.

මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම් ජයන්ත විජේරත්න, ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක මිල්ටන් අමරසිංහ, ක්‍රීඩා අමාත්‍ය පෞද්ගලික ‍ලේකම් සම්පත් දිසානායක, ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ධම්මික රත්නවීර