ඉකුත් දිනවල පාතාලයන්ගේ කෙරුම් ගැන පුවත් රැසක් පළවිය. විශේෂයෙන් දකුණු පළාත කේන්ද්‍ර කරගත් පාතාල කණ්ඩායම්වල ගැටුම් නිසා කුඩා දරුවන්ට පවා ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. එමගින් පෙනෙන්නේ ජන සමාජය භීතියෙන් සලිත කරන තරමට පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී ඇති ආකාරයයි.  මෙකී පාතාල කල්ලි ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතාව භීතියෙන් ජීවිත ගත කරන බව රහසක් නොවේ. ආණ්ඩුවක වගකීම ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්විය හැකි සමාජයක් උදාකර දීම සඳහා මග සැලසීමය. එහෙත් පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙසේ ඉහළ යන්නේ නම් එමගින් පෙනෙන්නේ ආණ්ඩුව ජනතාවට සාමකාමීව ජීවත්වීමට හැකි සමාජ වටපිටාවක් ගොඩනැගීමට අ‍පොහොසත්ව ඇති බවය.

මේ රටේ ජනතාව ඕනෑ තරම් භීෂණවලට මුහුණ දී  අත්දැකීම් ලබා තිබේ. 88-89 භීෂණ සමය, ප්‍රභාකරන්ගේ භීෂණය ඒ සඳහා උදාහරණය. මේ භීෂණවලින් ජනතාව ඕනෑ තරම් බැටකා තිබේ. වන්දි ගෙවා තිබේ. එහෙයින් තවත් භීෂණවලට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත. 88-89 භීෂණ සමයේ ක්‍රියාත්මක වූ ආණ්ඩුවේ ආශිර්වාදය ලැබූ පාතාල කල්ලි ඇතිකළ භීෂණය ද සුළුපටු නොවේ. කලක් මෙරට දේශපාලනය, සමාජය පාතාල කල්ලිවලට නතුවී තිබුණි. පාතාල කෙරුමෝ දේශපාලන බලවතුන්ගේ නොමද ආශිර්වාද ලැබූහ. සමහරු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂකයන් සේ සේවය කළහ. තවත් සමහර පාතාලයෝ සාමදාන විනිශ්චයකාර පදවිවලින් පිදුම් ලැබූහ. තවත් අයට ‍පොලිස් බලතල පවා තිබුණි.

කවදත් මෙරට පාතාලය බලවත් වූයේ මෙකී දේශපාලන ආශිර්වාදය නිසාය. මේ වන විට ද රටේ පාතාලය යළි බලවත් වී තිබෙන්නේ දේශපාලන හිතවත්කම් නිසාය. ඉකුත් කාලයේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්තේ ඔහුට ජුවම පාතාල කණ්ඩායම් සමග සබඳකම් තිබුණු නිසාය. දැනට රටේ කතාබහට ලක්ව තිබෙන දකුණේ පාතාල කණ්ඩායම් පිටුපස ද දේශපාලන හස්ත ක්‍රියාත්මක වේ. මේ සමහර දේශපාලනඥයෝ වයෝවෘද්ධ ඇත්තෝය.

තතු මෙසේ නම් පාතාල කණ්ඩායම්වලින් ජන සමාජය නිදහස් කරගන්නේ කෙසේද? යන ගැටලුව අපට ඇතිවේ.
මේ අතර පාතාල කණ්ඩායම් මර්දනය කරනු දකිනු කැමති සාමකාමි ජනතාවට සතුටුදායක පුවතක් අද රිවිර සංග්‍රහයේ ප්‍රධාන පුවතින් වාර්තා කෙරෙයි. ඒ ‍පොදු සමා කාලයේදී හමුදාවට භාර නොවන පුද්ගලයන්ට රැකවරණ දෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හෝ සේවාදායකයන් අපරාධ නීති සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගෙන වසර දෙකක සිර දඬුවමක් පැමිණවීමේ නීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අනතුරු ඇඟවීමය.

ලබන 15 වැනිදායින් පසුව හමුදා සාමාජිකයන්ට භාර වීම සඳහා බලපැවැත්වූ ‍පොදු සමා කාලය අවසන් වේ. ඒ අනුව හමුදාවෙන් පලාගොස් සිටින නිලධාරීන් 150 දෙනකු හා සෙසු නිලයන්වලට අයත් 27288 දෙනකුට රැකවරණ දීම යටතේ දඬුවම් පැමිණවීමට හැකිය. හමුදාවෙන් පලාගිය සෙබළුන් හා නිලධාරීන් පාතාල අපරාධවලට සම්බන්ධවන බවට චෝදනා එල්ල වූයේ අද ඊයේ නොවේ. මෙකී චෝදනාව නිසා යුද හමුදාපතිවරයාගේ නියමයෙන් හමුදාවෙන් පලාගියවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.  එමගින් 700කට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත්වූහ. හමුදාපතිවරයා තම ධුරයේ වැඩ භාරගන්නා අවස්ථාවේ දී හමුදාවෙන් පැනගොස් අපරාධවල නිරත වන අයට අනතුරු අඟවන බව සඳහන් කළේය.  එකී අනතුරු ඇඟවීම අනුව හමුදාපතිවරයා ක්‍රියාත්මක වීම අතිශය ප්‍රශංසනීය කරුණකි. භීෂණයේ තරම හමුදාව මැනවින් දනී. හමුදාව රටේ සමස්ත ජනතාව භීෂණයෙන් මුදා ගැනීම සඳහා දිවි පරදුවට තබා සේවය කළේය. ඒ ත්‍රස්ත භීෂණයෙන් ජනතාව මුදවා ගැනීම සඳහාය. පාතාල භීෂණයෙන් ද ජනතාව මුදා ගැනීම සඳහා හමුදාව අවධානය යොමු කිරීම රටවැසියන්ගේ අස්වැසිල්ලට හේතුවකි.

හමුදාවෙන් පැනගිය සෙබළු පාතාල කල්ලිවලට යොමුවීම මගින් පුහුණු අවිආයුධ දරන්නන් එම කල්ලිවලට ලැබුණු බව පෙනේ. එසේ පාතාල කල්ලිවලට එක්වී අතිශය දරුණු අපරාධවල නිරතවූ හමුදා සාමාජිකයන් රැසක් පසුව ඝාතනය වූහ. යුද හමුදා විශේෂ බලකාය, කොමාන්ඩෝ රෙජිමේන්තුව ආදිය නියෝජනය කළ සෙබළු ද ඒ අතර වූහ. දැනුදු බොහෝ පාතාල කණ්ඩායම්වල ප්‍රබල වෙඩික්කරුවෝ පැනගිය හමුදා සාමාජිකයෝය. මෙවැනි හමුදා සාමාජිකයන් තම කණ්ඩායම්වලට එක්කර ගැනීම සඳහා පාතාල කණ්ඩායම් විශේෂ අවධානයක් දක්වයි. හමුදාවෙන් ඉවත් වූ හෝ පැනගිය සාමාජිකයන්ට ඉන්පසුව සමාජ ගතවී වෘත්තියක නිරත වීමට වැඩපිළිවෙළක් නොමැති වීම ද එයට එක් හේතුවකි.

මෙකී පළවෙනි පියවරෙන් පසු නීත්‍යනුකූලව හමුදාවෙන් ඉවත්වී සංවිධානාත්මක අපරාධවල නිරත පුද්ගලයන් ගැන ද තොරතුරු එක්රැස්කර ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ ක්‍රියාවලිය අඛණ්ඩව බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම පාතාල මර්දනයට ප්‍රබල පිටුවහලක් වනු ඇත.

මේවන විට ‍පොලිස් විශේෂ බලකාය ඇතුළු ‍පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පාතාල මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිති.  අප දකින පරිදි ඒ සඳහා යුද හමුදාව ද යොදා ගන්නේ නම්  නොපමාව සමාජය පාතාල භීෂණයෙන් මුදාගැනීමට හැකිවනු ඇත. කලක් තිස්සේ නැගෙන චෝදනාවක් නම් දේශපාලනඥයන් සහ ඔවුන්ට අවනත වන සමහර ‍පොලිස් නිලධාරීන් පාතාලයන්ට රැකවල් දෙන බවය. දේශපාලනඥයන් යම් බලපෑම් කළ විට ‍පොලිසිය ඊට අවනත වේ. තවම ඒ ක්‍රමය මේ රටේ වෙනස් වී නැත. එහෙත් දේශපාලනඥයන්ට ‍පොලිසියට සේ හමුදාවට ඇඟිලි ගැසීමට පහසු නැත. අනෙක දැන් මේ රටේ හමුදාව දේශපාලකයන්ගේ බලපෑම්වලට යටවන හමුදාවක් නොවේ. එනිසා දකුණු පළාත වැනි තැන්වල පාතාල භීෂණයෙන් ජනතාව මුදා ගැනීමට යුද හමුදාවේ සේවය ලබා ගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුය. යුද හමුදාව සහ ‍පොලිසිය ඒකාබද්ධ කර මෙහෙයුම් ක්‍රියාත්මක කළ හැකිය.
මෙසේ හමුදාව රට පාතාලයෙන් මුදා ගැනීමට ඉතා යෝග්‍ය පියවර ක්‍රියාත්මක කරන විට ඊට දේශපාලන බලවතුන්ගේ ද නොමද සහාය හිමිවිය යුතුය. සහාය කෙසේ වෙතත් ඔවුන්ගෙන් බාධා එල්ල  නොවිය යුතුය.

දූෂිත දේශපාලනය, පාතාලය, කුඩු ජාවාරම එකිනෙකට බැඳී ඇත. මේවා සමාජයෙන් තුරන් කර යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා සහයෝගය දැක්විය හැකි විනයානුකූල හමුදාවක් අපේ රටේ  සිටී. අප ඒගැන සතුටට පත්විය යුතුය.  එකී විනයානුකූල හමුදාවෙන් රටට වැඩක් ගැනීමට පාලකයන්ට නුවණ පහළ විය යුතුය.