ලබන වසර සඳහා වන අයවැය ‍ලේඛනය පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. හරිත රටක් යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙම අයවැය ‍ලේඛනයේ ප්‍රධාන කරුණක් වී තිබුණේ පරිසර හිතකාමී වාහන ප්‍රචලිත කිරීමයි. ඊට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රය, කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඇතුළු සාමාන්‍ය ජනතාවට වැදගත් වන යෝජනා කිහිපයක්ද ඇතුළත් කර තිබුණි. එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට මෙම අයවැය ‍ලේඛනය එතරම් රිස්සුවේ නැත. සාමාන්‍යයෙන් අයවැය ‍ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පස්වරුවේ සිදුවන අතර බොහෝ දුරට පස්වරු දෙකට පමණ ඉදිරිපත් කිරීම පසුගිය වසර ගණනාවකදීම සිදුවේ. එහෙත් මෙවර අයවැය ‍ලේඛනයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පස්වරු 3.05ට පමණය. එම වෙලාවට අයවැය ‍ලේඛණය ඉදිරිපත් කරන්නේ මන්දැයි බොහෝ දෙනකුට කුතුහලයක් වී තිබුණි. ඇතැම් දේශපාලනඥයන් පාර්ලිමේන්තු ලොබියේදී ඒ පිළිබඳව කතාබහ කළහ. ඔවුන්ගේ මතය වී තිබුණේ එදින පස්වරු 1.30ට සිට පස්වරු 3.00 දක්වා රාහු කාලය  යෙදී තිබුණි. අයවැය ‍ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා කථානායකවරයා මුදල් අමාත්‍යවරයාගේ නම කතා කළේය. ඒ අවස්ථාව වන විටත් මංගල සමරවීර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඇතුළු වන දොරටුව විවෘත වී තිබුණි. එහිදී දැක ගැනීමට හැකි වූයේ පාර්ලිමේන්තු සේවකයකු වහාම පැමිණ මංගල සමරවීර ඇමැතිවරයාට වතුර වීදුරුවක් ලබා දෙන අයුරුයි. උගුරට දෙකට එම වතුර වීදුරුව පානය කළ අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ ඇමැතිවරුන්ගේ අත්‍පොළොසන් නද මැද්දේ  පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළු විය. කළු පැහැති කුඩා බ්‍රිෆ් කේසයක් අතැතිව පැමිණි අමාත්‍යවරයා එය උස්සමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙන්නුවේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඒ අවස්ථාවේ සභා ගර්භයේ සිටීම විශේෂත්වයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එදින පෙරවරුවේ සිට පාර්ලිමේන්තුවේ ඇති සිය කාර්යාලයේ මැති ඇමැතිවරුන් සමග කතාබහ කරමින් සිටියේය. බොහෝ දෙනකු විශ්වාස කළේ අයවැය ‍ලේඛනය ආරම්භ කරන විට ජනාධිපතිවරයාද පාර්ලිමේන්තු සභා ගැබට පැමිණෙනු ඇති බවය. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදින අයවැය කතාව ශ්‍රවණය කිරීම සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණියේය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බදාදා අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙවර්ෂ පූර්ණ ගුණසමරු උළෙලට සහභාගි විය. බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවති මෙම සමරු උළෙ‍ලේදී සෝභිත හිමියන්ගේ පිළිරුවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබිමද ජනාධිපතිවරයා අතින් සිදුවිය. මේ අවස්ථාවට කථානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, සරත් ෆොන්සේකා මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාදාමය පිළිබඳව සහ ඇතැම් දේශපාලනඥයන්ගේ අදහස් දැක්වීම් පිළිබඳව කතා කළේය.

“මහබැංකු බැඳුම්කර සිද්ධිය සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිසා මට දැන් ආණ්ඩුවේ අයම පහර දෙනවා. වැරදි දූෂිත පාලනයක් පෙරළලා අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ ඇයි? වැරදි කරන මිනිස්සුන්ට ඇඟිල්ල දිගු කරනවා වගේම දඬුවම් දෙනවා වගේම අපේ වැඩේ අපි හරියට කරන්න ඕනෙ. මෙම කොමිසම පත් කරපුවාම ආණ්ඩුවේ ඇතැම් සුළු පිරිසක් මාධ්‍යවලින් වැරදි විග්‍රහ කරනවා. ෆේස්බුක් වබේ සයිට් හරහා කැම්පේන් කරමින් මට චෝදනා කරනවා. සති අග පුවත්පත්වල පිටු ගණන් වෙන් කරගෙන ඇතැම් මාධ්‍ය ආයතනවලට සල්ලි වියදම් කරලා මට පහර දෙනවා. විපක්ෂයෙන් ගහන ඒවාට වගේම ආණ්ඩුවෙන් ගහන ඒවාටත් මට උත්තර දෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවේ අය මට පහර දෙනවා නම් එයින් අදහස් වෙන්නේ සෝභිත හාමුදුරුවෝ බලා‍පොරොත්තු වුණු  සාධාරණ සමාජයක් වෙනුවෙන් කටයුතු කරන ලෙසයි. උන්වහන්සේ අද ජීවතුන් අතර සිටියා නම් මට උපහාරයක් දෙනවා.” යැයි ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

මේ අතර තෙල් බෙදාහැරීමේ අක්‍රමවත් ක්‍රියාදාමය නිසා පසුගිය දින කිහිපය තුළ ජන ජීවිතය තරමක් අවුල් ස්වභාවයක් ගත්තේය. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල  සැතපුම් දෙකේ තුනේ දිගු ‍පෝලිම් තිබුණි. මෙම තත්ත්වය පසුගිය අඟහරුවාදා පෙරවරුවේ රැස්වුණු කැබිනට් හමුවේදී කතාබහට ලක් කෙරුණි. එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ දයාසිරි ජයසේකර මහතා අතර උණුසුම් මත ගැටුමක් ඇති විය. එය පාලනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවිය.

“මේකෙන් වෙන්නේ ජනාධිපතිතුමා අපහසුතාවට පත් වීම. මිනිස්සු බණින්නේ ජනාධිපතිතුමාට.” යැයි දයාසිරි ජයසේකර අමාත්‍යවරයා චෝදනාවක් එල්ල කළේය.

මේ අවස්ථාවේ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අර්ජුන රණතුංග අමාත්‍යවරයාට පක්ෂව අදහස් දක්වන්නට විය.
“මේ ප්‍රශ්නෙදී තෙල් ස්ටොක් එකක් තියා ගත්තේ නැති එක ප්‍රශ්නයක්. නමුත් අමතක කරන්න එපා මේක මාෆියාවක්. මේක ‍ලේසියට ගන්නත් එපා. මගේ කාලයේත් මේ මාෆියාව ක්‍රියාත්මක වුණා. අපි දැන් බලන්න ඕනෙ මේ ප්‍රශ්නය විසඳගන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්නය එන්නේ තනිවම ‍නෙවෙයි. එකකට එකක් බැඳිලයි එන්නේ.” යැයි චම්පික රණවක අමාත්‍යවරයා කීවේය.

දයා ගමගේ අමාත්‍යවරයා කතාබහට එක් විය.
“අර්ජුන රණතුංග ඇමැතිවරයාට අපි ස්තුතිවන්ත වෙනවා බාල තෙල් මේ රටට නොගෙනාපු එක ගැන. හැබැයි අද මෙහෙම වුණාට කලින් නම් බාලතෙල් අපේ රටට ගෙනාවා. ඒ වෙලාවේදී පළමු පරීක්ෂණය පේල් වුණත් දෙවැනි පරීක්ෂණය පේල් වුණත් තුන්වෙනි පරීක්ෂණයක් කරලා හරි ඒක පාස් කළා.” යැයි දයා ගමගේ අමාත්‍යවරයා කීවේ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා දෙස ද බලමිනි.

“අපේ කාලයේ නම් මේ වගේ ප්‍රශ්න වුණේ නැහැ.” චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා ඇඟටපතට නොදැනීම කීවේය. ඉන් අනතුරුව අර්ජුන රණතුංග ඇමැතිවරයා දයාසිරි ජයසේකර ඇමැතිවරයා ඉලක්ක කර ගනිමින් අදහස් දක්වන්නට විය.

“ජනාධිපතිතුමනි, මම කියන්නේ මේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න ඕන. එස්.එම්.එස්. එකක් ගියා ස්ට්‍රයික් එකක් තියෙනවා කියලා. ඒ ගැන පරීක්ෂණයක් කරන්න. අපි දැන් හදන්නේ කොහොමහරි මේ ප්‍රශ්නය විසඳගන්න. ඒ අස්සේ දයාසිරි ජයසේකර ඇමැතිතුමා බොරදියේ මාළු බාන්න හදනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. එතුමාට එතුමාගේ අමාත්‍යාංශයවත් හරියට කර ගන්න බැහැ.” අර්ජුන රණතුංග ඇමැතිවරයා කීවේය.

ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා කීවේ, “අපි මේ සිද්ධිය වුණේ කොහොමද කියලා හොයන්න අමාත්‍ය අනුකමිටුවක් දාමු” කියාය.

අනතුරුව අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ආචාර්ය සරත් අමුණුගම පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කෙරිණි. ලබන අඟහරුවාදා රැස්වන කැබිනට් මණ්ඩලයට එම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර ජනාධිපතිවරයා පසුගිය සතියේ මාතර දිස්ත්‍රික්කයේ උත්සව කිහිපයකටම සහභාගි විය. ඒ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙනි. මුලටියන සණස ගොඩනැගිල්ල විවෘත කිරීම, ප්‍රාදේශීය සභා ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම සහ දෙහියන්දර ජාතික පාස‍ලේ බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුවිය. අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. ඒ අතර තවත් විශේෂ පුද්ගලයකු සිටියේය. ඒ දකුණු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේන මහතාය. හිටපු මහ ඇමැති ඒ.ජී. සිරිසේන මහතාගේ පුත්‍රයා වන මනෝජ් සිරිසේන මහතා  අකුරැස්ස නව මැතිවරණය බල ප්‍රදේශය කර ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධය විපක්ෂයේ දේශපාලන කටයුතු කළේය. කෙසේ නමුත් මෙහිදී මනෝජ් සිරිසේන මහතා කීවේ ජනාධිපතිවරයා සමග දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා තමන් බලා‍පොරොත්තු වන බවය.

ඉන් අනතුරුව පැමිණි සියලු දෙනා වෙනුවෙන් දිවා ආහාරය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නිවසේ සූදානම් කර තිබුණි. එහිදී ජනාධිපතිවරයා කීවේ, “ලක්ෂ්මන් තව අවුරුදු ගාණකට ඔයාගේ පැත්තට නම් රජයෙන් මුකුත් කරන්න දෙයක් නැහැ වගේ නේද?” කියාය.

“නෑ සර් හක්මණ දීර්ඝ කාලීන සංවර්ධන වැඩපිළිවෙළේ තව කොටසක් තියෙනවා. ඒ ටිකත් කරලා ඉවර කර ගන්න මට උදව් කරන්න.” යැයි ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා කීවේය.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා වෙනදාටත් කලින් අරලියගහ මැදුරට ආවේ එදින ආණ්ඩුවේ තෙවැනි අයවැය එළිදැක්වීම නිසා හා ඊට අදාළ විශේෂ කැබිනට් හමුවට යාමට තිබූ බැවිනි.

සුපුරුදු ලෙස දිනපතා පුවත්පත් කියවූ අගමැතිවරයා දැඩි කණසල්ලට පත් වූයේ බොහෝ පුවත්පත් ආණ්ඩුව විසින් ජනතාවට කලින්දා ලබා දුන් රුපියල් දස ලක්ෂ 1500 ක සහන මල්ලට අදාළ ප‍්‍රවෘත්තියට නිසි ප‍්‍රමුඛස්ථානය ලබා නොදී තිබීම හේතුවෙනි.

”ජනාධිපතිතුමාගේ කතාවට මුල් තැනදීම ප‍්‍රශ්නයක් නෑ. ඒත් අධික ණය බර හා ආර්ථික අමාරුකම් මැද ආණ්ඩුව ජනතාවට ලබා දුන් සහන මුල් පිටුවේ ප‍්‍රධාන සිරස්තලය ලෙස ඉස්මතු කරලා පෙන්වීමට උත්සහ නොකිරීම ජනතාවට මෙන්ම ආණ්ඩුවටත් කරපු අසාධාරණයක්” අගමැතිවරයා තමා හමුවීමට පැමිණි මැති ඇමැතිවරුන් හා සමීප මාධ්‍යකරුවන් දෙදෙනෙකු හමුවේ සිය බලවත් කනගාටුව පළ කළේය.

අනතුරුව ජනමාධ්‍ය ඇමැති මංගල හා ඇමැති කබීර් හෂීම්ටද ඇමතුම් ගත් අගමැතිවරයා ඔවුන් වෙතද සිය අප‍්‍රසාදය පළ කළේය.

”දින 365 පුරාම කිසිම රජයකට ජනතාවට සහන දෙන්න බෑ. එත් එවැනි දෙයක් දීපූ වෙලාවෙ ඒකට සාධාරණ ප‍්‍රචාරයක් නොගැනීම අපේම වරදක්. ගිය රජය රු. 100 ක වැඩකට ලක්ෂයක ප‍්‍රචාරය ගත්තා. අපි රු. ලක්ෂයක වැඩකට රු. 100 කවත් ප‍්‍රචාරය ගන්න ක‍්‍රියා කරන්නේ නෑ. ජනමාධ්‍යටම බැණල වැඩක් නෑ” අගමැතිවරයා ඉතා තදින් කීවේය.

”මේ ගැන මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හා කර්තෘ වරුන්ගෙන් හරිනම් අහන්න  ඕනෑ. ඒ අයට ආණ්ඩුවේ දැන්වීම් විතරයි  ඕනෑ.” රන්ජන් රාමනායක සුපුරුදු බෝම්බයක් පත්තු කළේය.

”ආණ්ඩුවට ගහන ප‍්‍රවෘත්ති ලොකුවට දාන්න පත්තරයි අනිත් මාධ්‍යයි හරි ආසයි. ජනාධිපතිතුමාගෙ කතාවයි බඩුමිල අඩු කළ එකයි ලීඞ් 02ක් විදියට ඒ අයට  ඕන නම් දන්න තිබුණා.” අගමැතිවරයා කීවේය.

”මාධ්‍ය ඇමැතිට බඩු මිල අඩුකරපු වැඬේටත් හරියට ප‍්‍රචාරය ගන්න බැරිවෙලා. ඉතිං මුළු ආණ්ඩුවේම වැඩ ප‍්‍රචාරය කරන්නෙ කොහොමද” අගමැතිවරයා තවදුරටත් කීවේ නළල රැුළි ගන්වමිනි.

ඒ තුළ ජනමාධ්‍ය මෙහෙයවීම ඔවුන් හා කතාබහ කිරීම කිරීම හා ආණ්ඩුවේ කටයුතුවලට සාධාරණ ප‍්‍රචාරයක් ලබාදීම අදාළව අගමැති යටතේ ක‍්‍රියාත්මක ප‍්‍රබල තනතුරක් ඇති කිරීම කාලෝචිත බවද එහිදී තීන්දු විය.
”ඒ තනතුරට හොඳ කෙනෙක් හොයන්න” අගමැතිවරයා සමීප මාධ්‍යකරුවන් දෙදෙනාට කීය.

”ඊයෙ සෝභිත හාමුදුරුවන්ගෙ ගුණ සමරුවේදී සරත් විජේසූරිය ආණ්ඩුව නැතිකරලා. ඊට පස්සෙ ජනාධිපතිතුමාත් දැඩි ප‍්‍රහාර දීලා. එක පාරට එහෙම වුණේ ඇයි” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැති ඇතුළු සියලූ දෙනාගෙනි.
”මට ඔය උත්සවයට යන්න බැරිවුණා. පෙට‍්‍රල් ප‍්‍රශ්නයයි අනිත් ඒවායි ඔක්කොම මට කරගහන්න වෙලා. ඒත් මම සෝභිත හිමිගෙ දානයට ගියා” අගමැති කීය.

”අගමැතිතුමා ගියානම් ඔය කතා ඔව්චර සැර නොවෙන්නත් තිබුණා” දයා ගමගේ කීය.
”සැර වුණත් ප‍්‍රශ්නයක් නෑ. මම හිටියා නම් මගේ කතාවෙදී උත්තර දෙන්න තිබුණා. ඒත් ඒක මග ඇරුණා. ආර්ථිකය ගොඩදාල රට සංවර්ධනය කරල ජනතාවට ප‍්‍රතිලාභ දීම මගේ ප‍්‍රධාන අරමුණයි. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා නම් ඒවා ඇතුළේ මිසක් එළියේ කතාකිරීම නුසුදුසු බවයි  හුඟ දෙනෙක් මට කිව්වේ” අගමැතිවරයා කීවේය.

”ජනමාධ්‍ය හසුරවාගැනීම අවශ්‍යයි. ආණ්ඩුවට කඬේ යන්න නෙවෙයි සාධාරණ මාධ්‍ය ප‍්‍රචාරයක් ලබාදීම ඔවුන්ගෙ වගකීම බව පෙන්වාදීම අවශ්‍යයි.” ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේද කීවේ එකම කතාවකි.

”පසුපෙළෙ මන්ත‍්‍රීවරු ආණ්ඩුවට ප‍්‍රහාර එල්ලවීම ගැන මොකද කියන්නේ” නවීන් දිසානායක විමසුවේ එහිසිටි බදුල්ල දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි ගෙනි.

”අපේ එවුන්ට යකා නැගල ඉන්නේ. ආණ්ඩුවේ නායකයා ආණ්ඩුව විවේචනය කිරීම විපක්ෂයට තුරුම්පු ලබා දීමක් බව අපේ අයගෙ ස්ථාවරයයි” චමින්ද විජේසිරි කීවේය.

”ළඟදී එජාප පසුපෙල මන්ත‍්‍රීවරු ජනාධිපතිතුමා හමුවෙලා ප‍්‍රශ්න කතා කළා නේද?” ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය.
”ඔව්. එතුමා එතනදී නම් මෙහෙම කතාවක් කිව්වේ නෑ. ආණ්ඩුවේ අයට එතුමා ප‍්‍රහාර එල්ල කරනවා නම් ඒ අය කවුද? කළ වරද මොකක්ද? කොහෙදීද ඒක කළේ කියල එළි කළ යුතු බවයි අපේ මන්ත‍්‍රීවරු කියන්නේ ” චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.

”එජාප පසුපෙළ මන්ත‍්‍රීවරු එතුමා යළි හමුවෙලා මේ ගැන අහන්නත් අපේ අය ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා” මන්ත‍්‍රීවරයා කීවේ අගමැතිවරයාටය. ”බලමු….බලමු ” අගමැතිවරයා කීවේ එපමණකි.

”ජනාධිපතිතුමාගෙ පාර්ශ්වයට ඉතා විශ්වාස බව කියන බැ`දුම්කර කොමිසමේ අර දප්පුලද කවුද කියන නිලධාරියා වගේ පහත්ව හැසිරෙන කෙනෙක් මීට පෙර දැකලා නැති බව ඒ කොමිසමේ විනිශ්චයකාරවරු කීමත් ආණ්ඩුවේ අවධානයට යොමු වෙන්න  ඕන නේද” රන්ජන් රාමනායක කීවේද අගමැතිටය. අගමැතිවරයා නළල රැුළි ගැන්වූවා මිසක කිසිවක් කීවේ නැත.

”ඔය නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නෙ සමහරු ඔළුවෙ නෙවෙයි ඇග පුරාම මොලේ තියෙන අයයි. එක්කෙනෙක් මටත් මඩ ගහල ප‍්‍රකාශයක් කලා. මම පාර්ලිමේන්තුවේදී ඒකට රෙදි ගැලවෙන්න උත්තර දුන්නා. අපි ඇති කළ නිදහසින් හැමෝම ප‍්‍රයෝජන අරන් අපිටම ගහන එකයි පුදුමෙ” රවී කරුණානායක කීවේය.

”පෙට‍්‍රල් අර්බුදය ආණ්ඩුවට ඉතා අවාසියි. සමහරු අයි. ඕ.සී. එකට වරද පටවන්න දගලනවා. ඒක අසාධාරණයි” දයා ගමගේ කීවේය.

”තෙල් ඇමැතිතුමා ටෙන්ඩර් 03ක් අවලංගු කරලා හදිසි මිලදීගැනීමකට ගිහින් ගෙනාපු නැවේ බාල තෙල් තිබීම ගැටලූවකට හේතුව බව කියනවා.  කැබිනට් එකටත් කියල එයා ඒ ටෙන්ඩර් 03 අවලංගු කරල තියෙන්නෙ කියන්නෙ ඇත්තද” රන්ජන් රාමනායක විමසීය.

”ටෙන්ඩර් 03ක් අවලංගු කළ කතාව ඇත්ත. ඒකට ඒ ඇමැතිතුමා යම් හේතුත් කිව්වා. චම්පික රණවක කැබිනට් එකේදී මේකට විරුද්ධ වුණා මතකයි. හදිසි මිළදීගැනීම් කිරීම තෙල් මාෆියාවේ වැඩක් කියලත් චම්පික කිව්වා. ගෙනාපු බාල තෙල් නැව බෙදන්නෙ නැතුව ඉන්න තීන්දු කිරීම ඇමැති ගත්ත වටිනා තීන්දුවක්. ඒත් ප‍්‍රමානවත් පෙට‍්‍රල් සංචිත රට තුළ නැතිව ටෙන්ඩර් 03ක් අවලංගු කිරීම වැරදි වැඩක්” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයා ඇතුළු සියලූ දෙනා අනුමත කළහ.

”ආපහු ඒ වගේ වැඩ සිදුවෙන්න ඉඩ තියන්නෙ නෑ. ත‍්‍රි පුද්ගල ඇමැති කමිටුවේ වාර්ථාව අනුව ඉදිරියට කටයුතු කරනවා” අගමැති කීය.

”ඊයේ එස්.බී. කිව්වේ මහින්ද පිල එයාල එක්ක සෙට් වෙන්න පස්සෙන් එනවා කියලයි” දයා ගමගේ කීය.
”මට නම් ආරංචි ඒකෙ අනිත් පැත්තයි. අමරවීර හා අලගියවන්න දෙන්නා පවිත‍්‍රා හා මහින්දානන්ද එක්ක කතා කරල පුටුවෙන් එමු කියල ආයචනා කරලාලූ” රන්ජන් රාමනායක එළිකළේ ලැබුණු තොරතුරකි.

”පුටුව මිනිස්සුන්ට දැන් මතක නැති නිසා මාකට් කරන්න අමාරුයි. අවුරුදු 13 කින් පුටුව ලකුණ ඇවිත් නෑ. අලියා හා සීනුව ලගට දැන් මාකට් හොදම ලකුණ පොහොට්ටුවයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.

”අයවැය කොහොමද? රහසක් දෙකක් එළි කරන්න බැරිද?” දයා ගමගේ සිනාසෙමින් ඇසුවේ අගමැතිගෙනි.
”ඊයේ සහන මල්ලක් දුන්නා. අයවැය රටේ සංවර්ධනයට හා ණය ගෙවන්නයි තරුණ පරපුර  නංවන්නයි ඉලක්ක කරාවි. හවස  ඔක්කොම විස්තර බලාගන්නකෝ.” යයි කී අගමැතිවරයා අසුනින් නැගිට්ටේය.

”සයිටම් අහෝසි කළාට කමක් නෑ. ඒත් පිටරට වෛද්‍ය විද්‍යාලවලට වසරකට යන අපේ රුපියල් දස ලක්ෂ 14,000 ක මහා ධනස්කන්දය මේ රටේ නවතා ගැනීමේ ඉක්මන් ක‍්‍රමවේදයක් අත්‍යවශ්‍යයි.” එජාප පසුපෙළ මන්ත‍්‍රී චමින්ද විජේසිරි කී දේ සියලූ දෙනා අනුමත කළහ.

මෙ අතර ලුණුගම්වෙහෙර, සද්ධාතිස්සපුර සදිසිගම ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය සඳහා පැමිණ සිටි පිරිසට එතෙක් රහසක්ව පැවති කිසියම් සිද්ධියක් කරළියට ආවේ සියල්ලන් මවිතයට පත් කරමිනි. දිගු කලක් මුළුල්‍ලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත්ව සිටි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ප්‍රබලයන් 5 දෙනෙකු ඉඩම් හා නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වීම එම සිද්ධියයි.

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු වන විජිත උභයවර්ණ සහ චන්ද්‍රසිරි සිරිවර්ධන, එහිම හිටපු මන්ත්‍රීවරයෙකු වන නාමල් වීරසිංහ, ප්‍රාදේශීය සභා අපේක්ෂයෙකු වන අජිත් රුහුණගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවේදක සමන් ගමගේ යන අය සමග තවත් ප්‍රදේශවාසී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූහ.

සජිත් කීවේ කිසිම පෞද්ගලික වරදානයක්, වරප්‍රසාදයක් නැතිව මේ පිරිස මා සමඟ එක්වුණේ මගේ වේගවත් සංවර්ධන සැලැස්මේ කොටස් කරුවන් වෙන්නයි කියාය. පැති මාරු කළත් ඒ අය කලින් හිටපු පැත්තේ අයට බණින්න, මඩ ගහන්න මං ඒ අයව පාවිච්චි කරන්නේ නෑ. පරණ අතීතය අමතක කරලා අපි අලුත් ගමනක් යමු සජිත් කියද්දී විශාල අත්‍පොළොසන් හඬක් නැඟුණේය.

උත්සවය අවසන් වුණු වහාම සජිත් කළේ මේ පිරිස හා ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සමඟ ලුණුගම්වෙහෙර සංවර්ධන සැළැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමය. ප්‍රදේශය තුළ මතෛක් ඉටු නොවුණු සංවර්ධන ක්‍රියාමාර්ග, ඉඩම් හා නිවාස ප්‍රශ්න ගැන සාකච්ඡා වන අතර සජිත් ඇසුවේ පහුගිය ආණ්ඩුව කා‍ලේ මේ දේවල්වලට ප්‍රමුඛතාව නොලැබෙන්න හේතුව මොකක්ද ? කියාය. මොනව කරන්නද සර්. ඒ දවස්වල ප්‍රමුඛතාව දුන්නේ මෙගා ‍ප්‍රොජෙක්ට්ස් වලටයි, මෙගා ඩීල් වලටයි විතරනේ පිළිතුර විය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සති අන්තය ගත කළේ තංගල්ලේය. ඊට හේතු වී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන ඞී. ඒ. රාජපක්ෂ මහතාගේ 50 වැනි ගුණ සමරුව සඳුදාට යෙදී තිබීම නිසාය.

සඳුදා රාත‍්‍රියේ මැදමුලන නිවසේ දී පිරිත් සඡ්ඣායනාවක් පැවැත්වුණි. මේ අවස්ථාවට පවිත‍්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් සමඟ මහින්ද රාජපක්ෂ මහතා කතා කරමින් සිටියේ ඉන්දියානු සංචාරය ගැනය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා කීවේ ඉන්දියාවේ එක් මහ ඇමැතිවරයකු මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ නායකන්ද තමන්ට නැවතත් ජනාධිපති විය හැකි යැයි කී බවය.

”එහෙම කිව්වත් එයාලා දැනන් හිටියේ නැහැ මේ අය බලයට ආපු ගමන් ව්‍යවස්ථාව වෙනස් කළා කියලා” මහින්ද රාජපක්ෂ මහතා සිනාසෙමින් පැවසීය.

”මේ ආණ්ඩුවට ලොකුම වුවමනාව තිබ්බේ මහින්ද මහත්තයා ඇතුළු රාජපක්ෂවරුන් දේශපාලනයෙන් සදටහම අයින් කරන එකනේ. හැබැයි එයාලට ඒක කරගන්න බැරි වුණා” පවිත‍්‍රා කීවාය.

”රාජපක්ෂලාව එහෙම මිනිස්සුන්ගේ හිත්වලින් මකලා දාන එක ලේසි වැඩක් නෙමෙයි” මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

පසුදින උදයේ තංගල්ල නගර මධ්‍යයේ ඉදිකර ඇති ඞී. ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි. එම අවස්ථාවට රාජපක්ෂ පවුලේ සියලූ දෙනා එක්ව සිටියහ. සිය පියාට පුෂ්පෝපහාර දක්වමින් සිටි මහින්ද රාජපක්ෂ මහතා පිළිරුව අසල මාර්ගයෙනුත් එහා පැත්තේ සිටි සිය හිතවතකු දුටුවේය.

එම හිතවතා නගුලේෂ්වරන්ය. ඔහු උතුරු පළාතේ වැසියෙකි. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට බෙහෙවින් හිතවත් මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩවලට උදව් උපකාර කරන තරුණයෙකි. ඔහු තකහනියක්ම යාපනයේ සිට පැමිණ තිබුණේ ද ඞී.ඒ. රාජපක්ෂ ගුණසමරුවට සහභාගී වීමටය.

නගුලේෂ්වරන් දුටු මහින්ද රාජපක්ෂ මහතා සිය ආරක්ෂකයකු යවා නගුලේෂ්වරන්ව ගෙන්වා ගත්තේය. ඞී. ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට නගුලේෂ්වරන්ට අවස්ථාව දුන් මහින්ද රාජපක්ෂ මහතා ඔහුද කැටුව තංගල්ල නගර ශාලාව වෙත ගියේ එහි තිබුණු ඞී. ඒ. රාජපක්ෂ ගුණසමරු දෙසුමට සවන් දීමටය.

ඞී.ඒ. රාජපක්ෂ මහතාගේ ගුණ සමරුව නිමිත්තෙන් වාර්ෂිකව පැවැත්වෙන සමරු උත්සව අතර මෙම ගුණසමරු දෙසුමද සුවිශේෂී තැනක් උසුලයි. එහිදී අදහස් දැක්වීමට නගුලේෂ්වරන්ට ද අවස්ථාව ලබා දෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා සංවිධායකයන්ට කීවේය.

”මහින්ද මහත්තයාගේ කාලයේ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ දියුණුව වෙනුවෙන් කරපු දේවල් විස්තර කරන්න මට වචන නැහැ. අපිව යුද්ධයෙන් බේරාගෙන ජීවත් වීමට අයිතිය ලබා දුන් නායකයාට අපි කවදත් ගරු කරනවා” නගුලේෂ්වරන් කීවේය.

ඞී. ඒ. රාජපක්ෂ සමරු ග‍්‍රන්ථය රචනා කළ දිනමිණ හිටපු ප‍්‍රධාන කර්තෘ ගාමිණි ජයලත්  එම කෘතිය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූයේය. මැදමුලන මහ රුක නම් එම ග‍්‍රන්ථය කියවමින් සිටි නාමල් රාජපක්ෂ මහතාට මහින්ද රාජපක්ෂ මහතා ගාමිණි ජයලත් පෙන්වමින් කීවේ කීවේ ඔය පොත ලියලා තියෙන්නේ මෙයා තමයි කියාය.. මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් වන දන්දිනා සමරසිංහ මහත්මියගේ ගුණසමරු උළෙලක් 04 වැනි දා ඇඹිලිපිටියේ දී පැවැති අතර මහින්ද රාජපක්ෂ මහතා එයට ද සහභාගි වීමට නියමිතයි.

තංගල්ලේ සිට කොළඔ පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පසුදා පාර්ලිමේන්තු ගියේය. එහිදී මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රංජිත් සොයිසා, කංචන විජේසේකර, ප‍්‍රසන්න රණවීර, රමේෂ් පිතරණ, පියල් නිශාන්ත යන මන්ත‍්‍රීවරු ද මුණගැසුණහ. ඒ අතරතුර මුණගැසුණු දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ මහත්වරු සමඟ මහින්ද රාජපක්ෂ මහතා මඳවේලාවක් කතා කරමින් සිටියේය.

මන්ත‍්‍රීවරුන් ද කැටුව භෝජනාගාරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා සිටි මේසයට පැමිණි අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යවරුන් කතාබහ කරමින් සිටින අතරට චන්දිම වීරක්කොඩි ඇමැතිවරයාද පැමිණියේය. ඔවුන් කතාබහ කරමින් සිටියේ තෙල් අර්බුදය ගැනය.

”මම ඇමැති වෙලා ඉන්න කාලේ ගෑස් සමාගමක් බදු දෙන්න යෝජනාවක් කළා. මම යෝජනා කළේ වැඩි කොටස ආණ්ඩුවට එන විදියට දෙන්නයි. නමුත් ඒ යෝජනාව යටගියා” චන්දිම කීවේය.

”කොහොමටත් මේ ආණ්ඩුව හදන්නේ ජාතික සම්පත් විකුණන්නනේ” මහින්ද රාජපක්ෂ මහතා කීවේ චන්දිම වීරක්කොඩි ඇමැතිවරයාගේ කතාව ගණනකට නොගනිමිනි. මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඩි ප‍්‍රතිචාරයක් නොමැති තැන චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා හෙමින් සීරුවේ පිටත්ව ගියේය. චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා ගිය පසුව වුවද මහින්ද රාජපක්ෂ, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත අතර සාකච්ඡුාව නතර කෙරුණේ නැත.

”තෙල් ප‍්‍රශ්නය දැන් අර්බුදයක් දක්වා දුරදිග ගිහින්. ආණ්ඩුව දැනගන්න  ඕනේ බෆර් ස්ටොක් එකක් තියාගන්න. මේ වගේ අර්බුදවලට මුහුණදෙන්න පුළුවන් වාතාවරණ්‍යක් ඇති කරගන්න” මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
”සර්ගේ කාලේ ඔච්චර යුද්ධයක් කරන කොටවත් මේ වගේ අර්බුදයක් ඇති වුණේ නැහැ” රමේෂ් පතිරණ මන්ත‍්‍රීවරයා පැවසීය.

”ඉන්දියාවට තෙල් බලය දෙන ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ කරු ජයසූරියගේ කාලේ” කාංචන විජේසේකර මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.

”මේ ගිවිසුමට අත්සන් කළේ කරු ජයසූරියගේ කාලේ කියලා වාසු මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේ දී කිව්වම ඒක කැබිනට් එකේ සාමූහික තීන්දුවක් කියලා කරුව බේරගන්න බලනවා. හැබැයි මහින්ද මහත්තයාගේ කාලේ එහෙම දෙයක් වුණාම ඒ සේරම තීන්දු අරන් තියෙන්නේ මහින්ද මහත්තයා තනියම. ඒවා කැබිනට් එකේ සමූහික වගකීමෙන් නිදහස්. පුදුම තීන්දු  තමයි මෙව්වා” පියල් නිශාන්ත මන්ත‍්‍රීවරයා ආවේගයෙන් කීවේය.

”ඉස්සර මිනිස්සු බලන් හිටියේ පාරේ බස් එනකම්. දැන් බලන් ඉන්නේ තෙල් නැව එනකම්” කාංචන පැවසීය.
”මම එද්දි මන්ත‍්‍රීවරු කණ්ඩායමක් මුහුද දිහා බලාගෙන ඉන්නවා. මම ඇහුවා මොකද කියලා. එතකොට එයාලා කියනවා නැව එනකම් බලන් ඉන්නවලූ” පියල් නිිශාන්ත මන්ත‍්‍රීවරයා කීවේ සිනාසෙමිනි.

සාකච්ඡුාව දිගින් දිගටම යන අතරතුර රාවුෆ් හකීම් ඇමැතිවරයා එතැනට ආවේය. ”කොහොමද කාන්තා නියෝජනය ගැන දැන් ගැටලූවක් නැද්ද?” මහින්ද රාජපක්ෂ මහතා හකීම්ගෙන් ඇසුවේය.

”පොඩි පොඩි ගැටලූ තියෙනවා. හැබැයි ඉතින් අපිට තියෙන ක‍්‍රමෙත් එක්ක යන්න වෙනවානේ” හකීම් පිළිතුරු දුන්නේය.

”අපිට නම්  ඕවා ප‍්‍රශ්නයක් නැහැ.  ඕනේ තරම් කාන්තාවෝ ඉන්නවා අපෙන් ඉල්ලන්න.” මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

මේ අතර පියල් නිශාන්තට තිලංග සුමතිපාල මහතා මුණගැසුණේ පාර්ලිමේන්තු ලොබියේදීය. ”මොකද දැන් එකතු වෙලා ඉල්ලන්න ලෑස්තිද?” තිලංග සුමතිපාල මහතා පියල්ගෙන් ඇසුවේය.

”අපි නෙමේ ඒක තීරණය කරන්න  ඕනේ තමුන්නාන්සේලා. ඔයාලා අපිත් එක්ක එකතු වෙනවා නම් කිසි ප‍්‍රශ්නයක් නැහැ. යක්ෂයා එළෙව්වා කියලා උතුරට ගිහින්, පිටරටට ගිහින් කියන ගමන් රෙද්දක් ඇඳගෙන එන්න අපිට පුළුවන්ද?” පියල් ඇසුවේය.

”ඒකත් ඇත්ත. සමහරු කියන කතාවල ගැටලූවක් තියෙනවා තමයි” තිලංග සුමතිපාල මහතා ද පැවසීය.
”මේකෙන් අමරුවේ වැටෙන්නේ අපි නෙමේ ඔබතුමාලයි. ඡුන්දදායකයෝ දැන් කියන්නේ අපි එකතු වුණොත් අපිටවත් ඡුන්දය දෙන්නේ නැහැ කියලයි” පියල් කීවේය. ”ඒක නෙමේ කොහෙමද තෙල් ප‍්‍රශ්නය” පියල් ඇසුවේය.

”තෙල් එක ඉතින් ඔයාලට ලැබුණු බෝනස් එකක්නේ” කී තිලංග සුමතිපාල මහතා එසේ කියමින් යන්නට ගියේය.
මේ අතර පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් කෝට්ටේ නාග විහාරයේ පැවැති පින්කමට සහභාගි වන්නැයි ලැබුණු ආරාධනයක් මත මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ එහි ගියේය.

එහි විශේෂත්වය වූයේ විජයදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සහ එ්.එච්.එම්. ෆවුසි මහතා හැරුණු විට ඊට ආණ්ඩුවේ වෙනත් කිසිදු ඇමැතිවරයකු සහභාගි නොවීමයි.

යහපාලන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා සුවිශේෂී මෙහෙවරක් කළ සෝභිත හිමියන් බලධාරීන්ට අමතක වී ඇති සෙයක් දකින්නට ලැබුණි. මහින්ද රාජපක්ෂ මහතා හැරුණු විට දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සහ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා ද පින්කමට සහභාගී වී සිටියේය.

එහිදී මහින්ද සහ විජයදාස මඳ වේලාවක් කතාබහ කරමින් සිටියහ.

අයවැයේ බලා‍පොරොත්තු දල්වාගෙන සිටි ජනතාවට මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළ කරුණක් තිබේ. ඒ ආණ්ඩුව මෙවර අයවැයෙන් ලබාදෙන්නේ මාළු කෑල්ලක් නොව බිලී පිත්තක් කියාය. ජනතාව ස්වෝත්සාහයෙන් දියුණු වී රට සංවර්ධනය කරා ගෙනයෑම රජයේ වැඩපිළිවෙළ වී තිබේ. ඊට අවශ්‍ය සහාය ජනතාවට නොඅඩුව ලබා දීමට රජය සූදානමින් සිටින බවද අමාත්‍යවරයා කීවේය. කෙසේ හෝ අයවැය පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි සංඛ්‍යාවෙන් සම්මත වනු ඇත. ඉන් ලැබෙන ප්‍රතිලාභ නොඅඩුව ජනතාවට ලැබේදැයි දේශපාලනඥයන් මෙන්ම රටේ ජනතාවද පසුවන්නේ දැඩි විමසිල්ලෙනි.

රුචිර දිලාන් මධුසංඛ
ruchiradmadushanka@gmail.com

Untitled-10
පෙට්‍රල් අර්බුදයට විරෝධය පළ කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අයවැය විවාදයට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට ගිය අයුරු.
Untitled-11
ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා (07) සංවිධානය කර තිබුණි. එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ඩී.යූ. ගුණසේකර, කථානායක කරු ජයසූරිය, අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු ඇතුළු පිරිස සැමරුම් උත්සවයට සහභාගිවීමට ගිය අයුරු. ඡායාරූපය : චන්දන පෙරේරා (ජනාධිපති මාධ්‍ය අංශය)
Untitled-12
දේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ‍ලේකම් තොම්සන් ඒ. ෂැනෝන් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (06) හමුවී සාකච්ඡා පැවැත්වූ අයුරු.