රටම තෙලින් බැදෙමින් තිබියදී මුදල් ඇමැති මංගල සමරවීර යහපාලන ආණ්ඩුවේ සිව්වැනි අයවැය ඉදිරිපත් කළේය. එය මංගලගේ මංගල අයවැය විය.  වෙනත් අමාත්‍ය විෂයයන් පිළිබඳ වගකීම් දැරූ මංගලගේ අයවැය කෙබඳු එකක් විය හැකි දැයි රටේ බොහෝ අය බලා සිටි බව පෙනුණි. බොල්ගොඩ ගඟ අසබඩ පිහිටි තම “දේදුනු අනන්තය” නිවහනේ සිට මංගල පහුගිය දිනවල දිවා රෑ නොබලා තම මංගල අයවැය සකස් කිරීමේ කටයුතුවල යෙදී සිටියේය. කොහොම නමුදු අයවැය ඉදිරිපත් කිරීමට පෙරම මුදල් ඇමැතිවරයා අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක බදු පහළට දැම්මේය.  හාල් මැස්සන්, අර්තාපල්, ලොකුලූනු, පරිප්පු, කරවල, ‍පොල් තෙල් එසේ බදු පහළට දැමූ භාණ්ඩය.

මේ දිනවල රටේ ජනතාව තෙලින් සේම ජීවන බරෙන් බැදෙමින් ජීවත්වෙති. අමු මිරිස් යැයි සිහිපත්වන විට ජනතාවට උණ ගැනෙන තරමට එහි මිල වැඩිවී තිබේ. අමු මිරිස් කිලෝවක මිල රු. 1200කි. අනෙක් සියලු එළවලුවල මිල ද ඉහළ ගොස් තිබේ. ‍පොල්, සහල් මිල ද එසේමය. එවැනි පසුබිමක ජනතාව බෙහෙවින් පරිභෝජනය කරන භාණ්ඩ කීපයක බදු අඩු කිරීම සහනයක් සේ මතුපිටින් බලන කල සැලකිය හැකිය.

ඇමැතිවරයා සඳහන් කළ පරිදි ජනතාවට ඒ සහන මල්ල  ලබාදීම සඳහා රුපියල් මිලියන 1500ක බරපැනක් දැරීමට ආණ්ඩුවට සිදුවේ. එක් පැත්තකින් ජනවාරියේ මැතිවරණය දෙස ඇහැගහගෙන අයවැයට පෙරම මෙකී සහන ලබාදුන් බව යමෙකුට තර්ක කළ හැකිය. ආණ්ඩුවේ දේශපාලන විවේචකයන් සඳහන් කරන්නේ මෙයට පෙර ලබාදිය හැකිව තිබූ මෙකී සහනය අයවැයට පෙර ලබා දුන්නේ මැතිවරණය දෙස බලාගෙන බවය. මෙවැනි ජනප්‍රියවාදී සෙල්ලං මේ රටේ අයවැයක් ඉදිරිපත් කිරීමේදී නිතර නිරීක්ෂණය කළහැකි  දේවල්ය. රටේ ජනතාව ද අයවැයකින් රටට පුළුල් ආර්ථික වැඩපිළිවෙළක් මූලෝපායක් නොව සහන මල්ලක්ම අපේක්ෂා කරති. හැම ආණ්ඩුවක්ම ඒ බව දනී. සැබැවින්ම මෙකී ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු අඩුකිරීමට වඩා ආණ්ඩුව කළ යුතුව තිබුණේ දේශීයව ඒවා නිෂ්පාදනය කරන ගොවියාට සහනයක් දෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමය. එහෙත් ආණ්ඩුවලට හාල්මැස්සන් ලූනු ආදියේ බදු අඩුකිරීමේ සූත්‍රය විනා වෙනස් සූත්‍රයක් නොමැත. එකී සූත්‍රයෙන් මංගල සමරවීරගේ අයවැය ද මිදී නැත.

මංගලගේ අයවැය නීල හරිත අයවැයක් ලෙස හදුන්වා තිබේ. එයට හේතුව එය එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආර්ථික මූලධර්ම මත පදනම්ව ඉදිරිපත් කිරීමය. 77ට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දර්ශනයේ යම් වෙනස්කම් දැකිය හැකිව තිබුණි. විශේෂයෙන් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලින්  එවැනි වෙනස්කම් පැහැදිලිව ඉස්තුවිය. එහෙත් 77න් පසු මෙකී පක්ෂ දෙකේම ආර්ථික දර්ශනයේ සැලකිය යුතු වෙනස්කමක් අපට දැකිය නොහැකිය. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ යුගවල දැකිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ අනුදත් ලිබරල් විවෘත ආර්ථික වැඩපිළිවෙළම අඩුවැඩි වශයෙන් අනුකරණය කළ ආකාරයයි. එහෙයින් මෙම අයවැය නීල හරිත අයවැයක් යැයි හැඳින්වුව ද අපට පෙනෙන පරිදි එය ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමැති වූ රොනී ද මෙල් 1977 විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දෙමින් ඉදිරිපත් කළ අයවැයේම දිගුවක් සේ දැක්විය හැකිය. එහෙයින් නීල හරිත අයවැයක් යන්න හුදෙක් ජනප්‍රියවාදී ‍ලේබලයක් පමණි.

මංගල අයවැය ඉදිරිපත් කරමින් මෙසේ කියයි.
“ගරු කථා නායකතුමනි නීල හරිත අයවැය: එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යන්න 2018 වසර සඳහා මාගේ අයවැයේ තේමාවයි. සමුද්‍ර ආශ්‍රිත ක්‍රියාකාරකම්හි පූර්ණ ආර්ථික විභවතාවන් එකතුකර සමස්ත වර්ධන ක්‍රමෝපායක් මත නීල ආර්ථිකයක් ගොඩනගනවා. පරිසරාත්මක වශයෙන් තිරසාර ක්‍රමෝපායක් මත පදනම්වන හරිත ක්‍රියාකාරම් ද සමස්ත වර්ධන ක්‍රමෝපායට ඇතුළත් වෙනවා.”

එක් පැත්තකින් යම් පරිසරවාදී අන්තර්ගතයක් සහිත ආර්ථික ක්‍රියාවලියකට රට මෙහෙයවීම නීල හරිත සංකල්පයේ අරමුණ බව ඇමැති ප්‍රකාශ කරයි. එහෙත් ලිබරල් ආර්ථික මූලධර්ම මත පදනම්ව යන ගමනකදී එවැනි පරිසරවාදී ආර්ථික වැඩපිළිවෙළකට  රට මෙහෙයවිය හැකි ද යන්න ගැටලු සහගතය.

රටේ ආර්ථිකය ලිහිල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියටත් ගෙනයා යුතු බව මෙම අයවැයේදී අවධාරණය කර තිබෙන ප්‍රධාන තර්කයකි. ඇමැති මංගලගේ පහත දැක්වෙන සඳහනෙන් ඒ බව තහවුරු වනු ඇත.

“1977 වසරේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති අප විසින් හඳුන්වා දුන් අතර පසුගිය වසරේදී එහි ගාමක බලවේග හීනවී ගොස් විවෘත ආර්ථික ප්‍රතිපත්ති ආපසු හැරවීමේ දිසාවකට යොමු වුණා. අපගේ බොහෝ නීති ඉතා පැරණි හා  ඉතා පසුගාමී ඒවායි. රේගු ආඥා පනත ප්‍රථමයෙන් හඳුන්වා දී ඇත්තේ 1869 වසරේ දී ය. සුරා බදු ආඥා පනත 1912 වසරේ ද, අධ්‍යාපන ආඥ  පනත 1939 දී ද හඳුන්වා දී තිබෙනවා. මෙම පාර්ලිමේන්තුව මෑතදී නව දේශීය ආදායම් පනත සම්මත කරනු ලැබුවා. එසේ වුවත් තවත් බොහෝ ප්‍රතිසංස්කරණ කළ යුතුව ඇත.”

මෙමගින් පැහැදිලි වන්නේ පවතින නීති රීති ද වෙනස් කර ලිබරල් ආර්ථික වැඩපිළිවෙළ සඳහා තිබෙන බාධා දුරු කිරීමට ආණ්ඩුව පියවර ගැනීමට සූදානම් බවය. මෙකී අණ පනත් වෙනස් විය යුතු බවට තර්කයක් නැත. එයට හේතුව මේවා පැනවූ සමයේ පැවැති සමාජ, ආර්ථික පසුබිම මේ වන විට වෙනස්ව තිබෙන හෙයිනි. අනෙක් අතට එමගින් පැහැදිලි වන්නේ ජේ.ආර්. ජයවර්ධන ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්න ද තවම ඒ සඳහා රටේ විධිමත් ව්‍යුහයක් සකස් වී නොමැති බවය. ඒ කෙසේ වෙතත් ආණ්ඩුව සමහර නීතිමය ආවරණ ඉවත්කර විවෘත වෙළෙඳ‍පොළ පුළුල් කිරීමට සූදානම් වේ. විශ්වවිද්‍යාල පනත ද වෙනස් කිරීමට යෝජනා වී තිබෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කොටස් වෙළෙඳ‍පොළේ වෙළෙඳ භාණ්ඩයක් සේ අලෙවි කිරීමට පසුබිම සැකසීම සඳහා විය හැකිය. රොනී ද මැල් ද එසේ සරසවි අධ්‍යාපනය කොටස් වෙළෙඳ ‍පො‍ලේ වෙළෙඳ භාණ්ඩයක් සේ විකිණීම  කෙරෙහි අවධානය යොමු කළේය.

කෙසේ වෙතත් කාබන් බද්දක් හඳුන්වා දීම, විදුලි මෝටර් රථවල බද්ද අඩුකිරීම. ප්ලාස්ටික්වලට බද්දක් පැනවීම, රජයේ සියලුම වාහන 2025 වන විට විදුලි හා දෙමුහුන්  වාහන බවට පත්කිරීම, ඩීසල් ත්‍රිරෝද ආනයන බදු රුපියල් 50,000කින් ඉහළ දැමීම ආදිය මෙම අයවැයේ දර්ශනය කෙසේ වෙතත් සාධනීය පියවර සේ සැලකිය හැකිය. මෙවැනි පරිසර හිතවාදී යෝජනා  ලෝකයේ බොහෝ  රටවල් ක්‍රියාවට නැංවූයේ මෙයට කලකට පෙරය. කල් පසුවී හෝ මෙවැනි  සාධනීය පියවරවලට යොමුවීම අගය කළ යුතුය. මෙවැනි පරිසරහිතවාදී යෝජනා මෙයට පෙර ද ඉදිරිපත් වුව ද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වීමට යාන්ත්‍රණයක් නොමැතිවීම අප නිරීක්ෂණය කළ කරුණකි. එහෙයින් කාබන් බද්ද වැන්නකින් රටට නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුය.

මංගල අයවැය ඉදිරිපත් කිරීම ආරම්භ කළේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායකට ද ලකුණු දෙමිනි. එහෙත් මංගල රවි ඉහළ දැමූ විදුලි කාර් බද්ද පහළ දැම්මේය. මේ දෙදෙනාම යහපාලන ආණ්ඩුව නියෝජනය කරන මුදල් ඇමැතිවරුය. විදුලි කාර් බද්ද පිළිබඳ පැහැදිලි ස්ථාවර දෙකක් දක්නට ලැබිමෙන් පෙනෙන්නේ ආණ්ඩුවට තම ආර්ථික මූලෝපායන් පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති බවද යන්න පැහැදිලි නැත. එසේම විදුලි කාර් බද්ද අඩුකිරීමේ තවත් ගැටලුවක් තිබේ. මෙම බද්ද බලපානුයේ කලින් පාවිච්චි නොකළ (බ්රෑන්ඩ් නිව්) අලුත් වාහනවලටය.  එසේ වුවද මෙරටට බ්රෑන්ඩ් නිව් විදුලි කාර් රථ ආනයනය කරන්නේ නැත. ජපානයෙන් ආනයනය කරන්නේ පාවිච්චි කළ (රීකන්ඩිෂන්) රථ හැටියටය. එනිසා රීකන්ඩිෂන් රථවලට ද බදු සහනයක් ලබා දිය යුතු බව සමහරුන්ගේ තර්කයයි. අධි සුඛෝපභෝගී වාහන සඳහා ලක්ෂ 25 ක බද්දක් අයකිරීම ද අගය කළ යුතුය.

සරසවි සිසුන් සඳහා රක්ෂණයක් යෝජනා කිරීම, විද්‍යා පීඨ සිසුන්ගේ දීමනාව වැඩිකිරීම වැනි ඒවා ජනතා
ආකර්ශණයට හේතුවනු ඇත. මේවාට අමතරව වයඹ, සබරගමු, මොරටුව ආදි සරසවිවල වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ද මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම සාධනීය ඉදිරි පියවරකි. කොහොම නමුදු රජයේ සේවා ගාස්තු 15කින් ඉහළ දමා තිබේ. ඒ අනුව උප්පැන්න සහතික, හැඳුනුම්පත්, ඔප්පුතිරප්පු ආදිය සැකසීමේ ගාස්තු, මුද්දර ගාස්තු, විභාග අයදුම්පත් ගාස්තු ආදිය ගණන්හිලව් ඉහළ යනු ඇත.

ණය ආපසු ගෙවීමේ බද්ද මෙම අයවැයේ දී විශේෂයෙන් අවධානයට ලක්වූ බද්දකි. අපට පෙනෙන හැටියට මේ බද්ද පිළිබඳ ආණ්ඩුව පැහැදිලි අදහසක් ජනතාවට නොකියයි. මූලික වශයෙන් එමගින් අපේක්ෂා කරනුයේ බැංකු හා මූල්‍ය ගනුදෙනුවලදී රුපියල් 1000ට ශත 20 ක බද්දක් අයකිරීමය. එසේත් නැත්නම් 1000ට ශත 20 අනුපාතයක් අනුව  විශේෂ බද්දක් අයකිරීමය. මෙකී බද්දේ පදනම අපැහැදිලිය. එය බැංකුව සමග ගනුදෙනු කරන්නන්ගෙන් අය නොකරන බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. එසේ වුවද බැංකු ‍පොලී අනුපාතය ඉහළ දමා මෙකී බද්ද ගනුදෙනුකරුවන්ගෙන් අයකරගන්නා බවට සැකයක් නැත. එය එසේ නොවීමට නම් ආණ්ඩුව සඳහන් කළ යුත්තේ බැංකු හා මූල්‍ය ආයතනවල ලාභය මගින් එවැනි බද්දක් අය කරන බවය. මුදල් රාජ්‍ය ඇමැති මෙකී බද්ද සතුටින් දැමූ එකක් නොවන බව ප්‍රකාශ කරයි. සතුටින් දැමුව ද අසතුටෙන් දැමුව ද මෙවැනි බදු ගැටනම් ජනතාවට පීඩාකාරීය. ඉදිරි වසර තුන ඇතුළත ගෙවීමට තිබෙන බිලියන 7000ක ණය ගෙවීමට මෙකී බද්දෙන් ලැබෙන ලාභය යොදා ගන්නා බව  ආණ්ඩුව කියයි.

ආණ්ඩුව මැදමුලන බද්ද ලෙසින් හඳුන්වන එමගින් මිලියන 20,000ක් උපයා ගැනීමට අපේක්ෂා කරයි. ‍පොදුවේ බලන කල අයවැය කථාවෙන් ඉදිරිපත් කළ ප්‍රධාන නිර්දේශ කීපයක් මෙසේ දැක්විය හැකිය.

ආණ්ඩුව නියම කරන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකුණ  වෙළෙන්දන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම
අතුරුදන් වූවන් සොයා බැලීම පිළිබඳ කාර්යාලයේ වැඩ මේ වසරේ ආරම්භ කිරීම.

යාපනයේ නවීන ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිරීම.
යුද්ධයෙන් අසරණ වූ උතුරේ කාන්තාවන්ට විවිධ ව්‍යාපාර කටයුතු කිරීමට සහයෝගය ලබා දීම.
උතුරු හා නැගෙනහිර පළාත්වල නව නිවාස පනස් දහසක් ඉදිකිරීම.

රජයේ සේවකයන්ට ‍පොදු වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම.
මහජන පුස්තකාලයේ සහාය ඇතිව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීම.
අප්‍රේල් 1 දා සිට මත්පැන්වලින් ජාතිය ගොඩනැගීමේ බද්දක් අය කිරීම. මත්පැන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්  ක්‍රියාවට නැංවීම.

විශ්වවිද්‍යාල අණ පනත් සංශෝධනය.
මෙවැනි යෝජනා රැසක් තිබුණ ද ආණ්ඩුවට 2018 වසරේදී සැලකිය යුතු අයවැය හිඟයක් පියවා ගැනීමට සිදුවේ. ඒ අනුව 2018 වසරේ ආණ්ඩුව  මුහුණ දෙන අයවැය හිඟය මෙසේ දැක්විය හැකිය.

සමස්ත ආදායම රුපියල් බිලියන 2326කි.
බදු ආදායම රුපියල් බිලියන 2034කි.
බදු නොවන ආදායම  රුපියල් බිලියන 184කි.
පළාත් බදු ආදායම  බිලියන 98කි.
ප්‍රදානයන් මගින් අපේක්ෂිත ආදායම බිලියන 10 කි.
2018 වසරේදී රජයේ වියදම මෙසේය.
සමස්ත වියදම රුපියල් බිලියන 3301
වර්තන වියදම බිලියන 2250
රාජ්‍ය ආයෝජන බිලියන 761
අනෙකුත් බිලියන 10
අයවැය හිඟය රුපියල් බිලියන 675කි

මෙකී අයවැය හිඟය පියවා ගන්නා ආකාරය පිළිබඳ වැඩපිළිවෙළක් අයවැයේ දැකිය නොහැකිය. 2018 වසර සඳහා වන අයවැය විසර්ජන කෙටුම්පතේ සඳහන්ව තිබෙන ආකාරයට ලබන වසර සඳහා අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175කි. අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982කි. මෙකී පරතරයෙන් පෙනෙන්නේ නිසි ආර්ථික වැඩපිළිවෙළකට යොමු නොවන්නේ නම්  2018 වසරේ දී රටට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට බෙහෙවින් සිදුවන බවය. එය වළක්වා ගැනීමට ආණ්ඩුවට තිබෙන වැඩපිළිවෙළ කුමක්දැයි පැහැදිලි නැත.

බොහෝදුරට ආණ්ඩුව බදු ආදායමින් එය පියවා ගැනීමට අපේක්ෂා කරන බව පෙනේ. වක්‍ර බදු ප්‍රතිශතය අඩුකරන බව සඳහන් කළ ද නව බදු යෝජනා මගින් පෙනෙන්නේ වක්‍ර බදු ප්‍රමාණය තවත් ඉහළ යාමට ඉඩ තිබෙන බවය. කෙසේ වෙතත් කලින් අයවැය ‍ලේඛනවලට සේ මෙකී අයවැයට  ද සංශෝධන ඉදිරිපත් වීමට බෙහෙවින් ඉඩකඩ තිබේ. මෙකී අයවැය යෝජනා පිළිබඳ කරුණු සලකා බැලීමෙන් පෙනෙන්නේ රට මුහුණපා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් දැකිය නොහැකි බවය. අනෙක් අයවැය සේම මෙය ද යම් ජනප්‍රියවාදී බවක් පෙන්වයි. ආර්ථිකයේ තීරණාත්මක වෙනස්කම් සඳහා  මං සලකුණු එහි නොමැත.

වරුණ අබේසේකර