අසහනයට පත්වන්නට කාරණා ඕනෑ තරම් මේ සමාජයේ තිබේ. බාගවිට අප අසහනයට පත්වන සමහර කාරණා සෘජුවම අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය ලෙස බැඳී ඇති ඒවා නොවේ. බාහිර කාරණාය. එහෙත් යම් යම් හේතු මත ඒවා අපේ ජීවිතවලට ඕනෑවට වඩා කිට්ටු වී තිබේ. දේශපාලනය, ආර්ථිකය අපේ මනස අසහනයට පත්කරන ප්‍රධාන කාරණා අතර පවතින බව නොරහසකි. දේශපාලන හැලහැප්පීම්, ආර්ථිකයේ ඇතිවන ඇදවැටීම්, මිල උච්චාවචනය වීම් අපි නොසන්සුන් කරන්නට හේතු වෙයි.

ඇතැම් විනෝදාංශද සමහර විට අපේ මනස නොසන්සුන් කරන්නට හේතු වෙයි. ක්‍රීඩාව නැරඹීමද එවැන්නකි. ලොව පුරා විවිධ රටවල්වල මිනිසුන් විවිධ ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටිනු දකින්නට පුළුවන. යුරෝපය පාපන්දුවටය, අපද ඇතුළු දකුණු ආසියාව ක්‍රිකට් ක්‍රීඩාවටය. එහෙත් එය සැමවිටම අප වෙත ගෙන එන්නේ ප්‍රසන්න හැඟුම් නොවේ. මේ ඒ ගැනය.

ක්‍රිකට් පමණක් නොව, ඕනෑම ක්‍රීඩාවක් ඇතැමෙකුගේ මානසික අසහනය හෝ ආතතිය පිණිස හේතු වන්නට ඉඩ තිබේ. විශේෂයෙන්ම හෘදය සම්බන්ධ ආබාධ උත්සන්න වන්නට ක්‍රීඩා නැරඹීම හේතු විය හැකි බව කියැවෙයි. මේ ආකාරයේ කාරණයක් පිළිබඳ කෙරුණු අධ්‍යයනයක් වරක් British Cardiovascular Society සමුළුවකට ඉදිරිපත් කෙරිණි.

එහි අවධානය යොමුකර තිබුණේ රූපවාහිනී තිරය මත හද ගැස්සෙන ක්‍රීඩා ඉසව්, හද සසල කරන ක්‍රීඩා ඉසව්, දරුණු පරාජ, නොපැතූ ජයග්‍රහණ සෞඛ්‍යයට ඇති කරන තර්ජන පිළිබඳවයි. ඕනෑවට වඩා හැඟුම්බර වෙන්නට යෑමේ ඇති අයහපත පිළිබඳවයි.

මේ කාරිය සඳහා සම්බන්ධව සිටියේ ලන්ඩනයේ කිංග්ස් කොලීජියත්, සාන්ත තෝමස් රෝහලත්ය. හෘද රෝග තත්ත්ව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි පහළොස් දෙනකුත්, සාමාන්‍ය රෝගීන් එකොළොස් දෙනකුත් මේ පර්යේෂණය සඳහා තෝරාගන්නා ලදී. එබඳු අතිශය හැඟුම්බර හෝ තිගැස්සෙනසුලු අවස්ථාවක ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය හා රුධිර පීඩනය ඉහළ යන ආකාරය එහිදී අධ්‍යයනයකට ලක්විය. මෙහිදී ඔප්පු වූ කාරණය වූයේ හෘදය සම්බන්ධ රෝගාබාධවලින් පෙළෙන්නවුන්ගේ රුධිර ගමනය අපේක්ෂිත මට්ටම කරා ළඟාවීම අසීරු කාරණයක් වන බවය. නොඑසේම දරාගන්නට අසීරු තැනකට වැටෙන බවය.

Canadian Journal of Cardiology හි පළවූ තවත් පර්යේෂණයක් වෙත අපගේ අවධානය යොමුවීම වටී. ඔවුනගේ අදහස වන්නේ ක්‍රීඩාව හා සම්බන්ධව ජයග්‍රහණයේ අධික ප්‍රීතියත්, පරාජයේ අධික කම්පාවත් හෘද සෞඛ්‍යය කෙරේ අහිතකර ලෙස බලපාන්නට හේතු විය හැකි බවය. ඔවුන් මේ කාරියේදී කළේ හොකී තරගයක් නරඹන අතරවාරයේ ප්‍රේක්ෂකයන්ගේ නාඩි වැටීමත්, හෘද ස්පන්දනයත් ගැන අවධානය යොමු කිරීමයි. එහිදී ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය සියයට හැත්තෑ පහකින් ඉහළ යනු දකින්නට ලැබුණු අතර හෘදය ස්පන්දන වේගය ක්‍රීඩාංගණයේදී නරඹනවාට වඩා රූපවාහිනී තිරය දෙස බලා ඉඳිද්දී දෙගුණ තෙගුණ වන බවද ඔප්පු විය. මේ අධ්‍යයනයට මුල් වූ මහාචාර්ය ‍පෝල් කෙයිරි (Montreal University) පවසන්නේ මෙබඳු දෙයකි.

“අපේ අධ්‍යයනය තුළින් හඳුනා ගන්නට ලැබුණේ තරගයක් නැරඹීමේදී හෘද ස්පන්දන වේගය වැඩිවන බව. එය අප සාර්ථක අන්දමින් ඔප්පු කරන්නට සමත් වුණා. ඒ හින්දා අප කල්පනා කරනවා යම් හෙයකින් මෙය හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකුට අහිතකර ලෙස බලපාන්නට ඉඩ ඇති බව.”

ක්‍රීඩා නැරඹීම මොළයට බලපාන්නේ කෙසේද යන කාරණයද ක්‍රීඩාව හා විද්‍යාව එකට එක් කෙරෙන මොහොතකදී අපූරු විය හැකිය. මොළයේ එකී ක්‍රියාකාරීත්වයත් සමගින් හෘද ස්පන්දන වේගය ඉහළ ගොස් හෝමෝන ක්‍රියාත්මක වීම අඩුවැඩි වන්නට පටන් ගනී. මේ කාරියේදී testosterone ක්‍රියාත්මක වන්නේ අපූරු ආකාරයකටය. එය ජය සමරද්දී ඉහළ නැගෙන අතරම පරාජයේදී පහළ මට්ටමක් දක්වා අඩුව යයි. testosterone නිකුත් වීම හා ආධිපත්‍ය පැතිරවීමේ හැඟීම් අතර සම්බන්ධයක් පවතී. බාගවිට තරග අතරතුර ප්‍රේක්ෂකයන්ගේ මනස තුළත්, ප්‍රේක්ෂකයන් අතරත් යම් යම් ආවේගශීලී හැසිරීම් ඇතිවන්නට හේතුව වන්නේ මෙය විය හැකිය.

ඊළඟට අපි එළැඹෙන්නට කැමති කාරණය වන්නේ අප ආරම්භයක් ගත් ආතතිය (Stress) පිළිබඳ කතාබහ වෙතටයි. සාමාන්‍ය පිළිගැනීම අනුව අප ක්‍රීඩාවක් නරඹන්නේ නිදහස් වේලාවක් ගත කරන අතරවාරයේය. සිත ගත සැහැල්ලුය, ප්‍රීතිමත්ය. එහෙත් ක්‍රීඩාව උද්වේගකර වත්ම මනසේ ඇතිවන්නේ සැහැල්ලුවක් නොවේ. අප රාජකාරිවලින් බැහැරව රූප පෙට්ටිය ඉදිරියේ හෝ ක්‍රීඩා පිටියේ ඉන්නවා වන්නට පුළුවන. එනමුදු ඒ මොහොතේ සිතට දැනෙන පීඩනය, ආතතිය සාමාන්‍යයෙන් අධික රාජකාරි දිනෙක දැනෙන ආතතියට සමාන යැයි කියැවෙයි. 2012 ඇමස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයට අනුබද්ධ කණ්ඩායමක් විසින් ප්‍රේක්ෂකයන්ගේ හෝමෝන ක්‍රියාත්මක වීම ගැන පර්යේෂණයක් සිදු කෙරිණි. තෝරාගත් ක්‍රීඩා රසිකයන් 58 දෙනකුගේ ඛිෙට සාම්පල යොදාගනිමින් කරන්නට යෙදුණු මේ පර්යේෂණයට පසුබිම් වූයේ ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩාවයි. ස්පාඤ්ඤ ජයග්‍රහණයකදී මෙකී පාපන්දු ලෝලීන්ගේ corsitol හා testosterone හෝමෝන මට්ටම ඉහළ යන ආකාරය මෙහිදී අධ්‍යයනය කෙරිණි. එය ඉතා ඉහළ මට්ටමක ආවේගයක් ඇති කිරීමට හේතු වූ බව පර්යේෂකයන්ගේ අදහස විය.

පාලිත ජයකොඩි
පාලිත ජයකොඩි

ඉතින් ඔය සා දුකක් විඳගෙන ඔය මලඉලව් බලන්නේ ඇයිදැයි බොහෝවිට ක්‍රීඩා නොනරඹන අය ක්‍රීඩා ලෝලීන්ගෙන් අසන්නට ඉඩ තිබේ. එය එතරම් හොඳ පැනයකැයි අප සිතන්නේ නැත. මන්ද යත් එහි යහපත් පැත්තක්ද දකින්නට පුළුවන් බැවිනි. ක්‍රීඩා නැරඹීම තුළින් ක්‍රීඩා කරද්දී ලැබෙන ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයම ලැබෙන අවස්ථා ඇති බවට ඇතැම් පර්යේෂණ තුළින් ඉඟි ලබාදී තිබේ. අභියෝගවලට මුහුණ දීම, අභියෝග ජය ගැනීම උදෙසා ඇති කදිම පාඩමක් නොඑසේව ආදර්ශයක් ලෙස සැලකෙන්නේ ක්‍රීඩා නැරඹීමයි. අනෙක් අතට ආත්ම අභිමානය කෙරේ යහපත් ලෙස ක්‍රීඩාව නැරඹීම බලපාන්නට පුළුවන. එහෙත් ක්‍රීඩාවේ යථා තත්ත්වය එනම් ජය පැරදුම එක හා සමානව විඳගත යුතු බව වටහා නොගත් විට මේ අභිමානයට ‘හානියක් වූයේ යැයි’ චිත්ත පීඩාවක් හෝ පීඩනයක්, ආතතියක් හටගන්නට ඉඩ තිබෙන බව ඇත්තකි.

සිතේ සැහැල්ලුව ඇතිකරන ක්‍රීඩාව නැරඹීමේ පුරුද්ද පවා ඇතැම් විට අපේ අවාසියට හේතු වන්නට ඉඩ තිබේ. එබැවින් වඩාත් යහපත් වන්නේ ක්‍රීඩාව යනු කවරක්දැයි හඳුනාගෙන එයට පෙම් බැඳීමයි. එහෙත් අධික සතුට හෝ අධික ශෝකය ක්‍රීඩා ලෝලීන්ගේ ශරීර සෞඛ්‍යයට ඒ හැටි හිතකර නොවන බවද පෙන්වා දී ඇති බැව් අප අමතක නොකළ යුතුය.