ඡන්ද හිමි නාම ‍ලේඛනයට එරෙහිව විරෝධතා මතුවීම නිසා අද (09) දිනය දක්වා නාමයෝජනා විවෘත කිරීම කල්දමන ලද ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය පැවැත්විය යුතු දිනය තීරණය කිරීම සඳහා ඊයේ (08) සවස් භාගයේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලන විධායක සභාව රැස්වීමට තීරණය කර තිබිණි.

රිවිරට වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය බොහෝදුරට නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත. අදාළ නිලවරණය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර තිබූ ඡන්ද හිමි නාම‍ලේඛනයට රන්ගිරි දඹුලු, දැරණියගල, රත්නපුර ශ්‍රී ලක් හා කොළඹ වයිකිං යන ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලබාදී නොතිබිම හා ගම්පහ දිස්ත්‍රික් සංගමයේ පරිපාලනයේ හිමිකාරීත්වය පිළිබඳවත් ඉදිරිපත් කර තිබූ විරෝධතා මේ වනවිට විමර්ශනය කොට අවසන් කර ඇතැයි පැවසේ.

නිල නොවන ආරංචි අනුව ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය වෙනුවෙන් අවසන් වරට පවත්වන ලද නිලවරණය අවලංගු කොට 2015 වසරේ පවත්වන ලද නිලවරණය සලකා බැලීමට තීරණය වී ඇති බව සඳහන්ය. එසේ වුවහොත් ඒ වනවිට එහි සභාපතිවරයා සුමිත් බාලසූරිය වන අතර ‍ලේකම්වරයා වූයේ නලින් අධිකාරිආරච්චිය. මේ නිසා දිස්ත්‍රික් සංගමය වෙනුවෙන් හිමි ඡන්ද තුනෙන් එකක් සුමිත් බාලසූරියටද හිමිවන තත්ත්වයක් උදාවී ඇත. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් සංගමය හා එහි ක්‍රීඩා සමාජ සඳහා ඡන්ද 15ක් හිමිවන අතර ඉන් ඡන්ද 10ක් හිමිව ඇත්තේ සුමිත් බාලසූරියට බව දැනගන්නට ඇත.

මේ අතර රන්ගිරි දඹුලු, දැරණියගල, රත්නපුර ශ්‍රී ලක් හා කොළඹ වයිකිං ක්‍රීඩා සමාජවලටද නැවත ඡන්ද බලය ලබාදී ඇතැයි වාර්තා වේ.

සීවලී එදිරිවීර