ද්විත්ව පුරවැසියකුට මෙරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ නොහැකි බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කොට තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කළ ගීතා කුමාරසිංහ මහත්මියට සිය මන්ත‍්‍රී ධුරය අහිමි විය. එය ඓතිහාසික නඩු තීන්දුවකි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් වන එම තීන්දුව කිසිවකුට ප‍්‍රශ්න කිරීමේ හැකියාවක් නොමැත.

එහෙත් ගැටලූ?ව ඇත්තේ වෙනත් රටක පුරවැසිභාවය දරන ශ‍්‍රී ලාංකිකයන් හඳුනා ගැනීමට විධිමත් ක‍්‍රමවේදයක් නොමැති වීමය. කැනඩාව, ස්විට්සර්ලන්තය, බි‍්‍රතාන්‍යය, ඔස්ටේ‍්‍රලියාව, නෝර්වේ, ප‍්‍රංශය, ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය, දකුණු අප‍්‍රිකාව ආදී බොහෝ රටවල් තම පුරවැසියන් පිළිබඳ තොරතුරු හෙළි කරන්නේ නැත. එම රටවල් තම පුරවැසියන් පිළිබඳ තොරතුරු ලබා දෙන්නේ ඔවුන් කිසියම් අපරාධයකට හෝ වංචාවකට සම්බන්ධ නම් පමණි.

ගීතා කුමාරසිංහ ශ‍්‍රී ලංකා ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිභාවය සහිත අයකු බව හඳුනා ගෙන ඇත්තේ ඈ සිය විදෙස් ගමන් බලපත‍්‍රය ලබා ගැනීමේ දී ද්විත්ව පුරවැසිභාවය ඇතැයි සඳහන් කිරීම නිසාය. එහෙත් තමන්ට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි සඳහන් කර නොමැති  ඕනෑම අයකුට මෙම නීතියෙන් ඉතාම පහසුවෙන් රිංගා යා හැකිය.

එහෙයින් 19 වන සංශෝධනය යටතේ ගෙන ආ නීතිමය ප‍්‍රතිපාදන නිසි ලෙස රටේ ක‍්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේ තත්ත්වය නිරාකරණය සඳහා ගත හැකි ක‍්‍රමවේද මොනවාද යන්න විමසා බැලීම නීති විශාරදයන්ගේ කටයුත්තකි. ද්විත්ව පුරවැසිභාවය සහිත අයකු මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වංචාවක් හෝ අපරාධයක් ලෙස නීතිගත කිරීම මගින් ඒ පිළිබඳ තොරතුරු අදාළ රටවලින් ලබාගත හැකි ද යන්න විමසා බැලිය යුතුය. එසේම තමන් වෙනත් රටක පුරවැසියන් නොවන බවට මැතිවරණ අපේක්ෂකයන්ගෙන් දිවුරුම් ප‍්‍රකාශ ලබා ගැනීම සහ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම බරපතළ අපරාධයක් හෝ වංචාවක් ලෙස නීතිගත කිරීම ද කළ හැකිය.

සැබවින්ම ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පමණක් නොව මෙරට රාජ්‍ය සේවයේ යෙදීමට ඇති අවස්ථාව ද අවුරා දැමිය යුතුය. එය ද ප‍්‍රමාණවත් නැත. මේ රටේ පුරවැසිභාවය නොමැති කිසිවකුට මේ රටේ දේශපාලනය කිරීමට හෝ රාජ්‍ය ආයතනවල සේවය කිරීමට ඇති අවස්ථාව සපුරා අවුරාලිය යුතුය. ද්විත්ව පුරවැසියන්ට මන්ත‍්‍රී ධුරයක් දැරීම තහනම් වන රටක මේ රටේ පුරවැසියකු නොවන අයකුට රාජ්‍ය සේවයේ යෙදීමට හෝ දේශපාලනය කිරීමට අවස්ථාව ලබා දීම කිසිසේත් යුක්ති යුක්ත නැත.  එහෙත් මහත් ආන්දෝලනයට ලක් වූ බැඳුම්කර වංචාව සිදු වන සමයේ මහ බැංකු අධිපති ධුරය දැරුවේ සිංගප්පූරු පුරවැසියෙකි.
එසේම කුප‍්‍රකට තායි බැංකු කොල්ලය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා බි‍්‍රතාන්‍ය පුරවැසියෙකි. එපමණක් නොව ඔහු රජයේ ගෑස් සමාගමක සභාපතිවරයාය. පහුගිය ජනාධිපතිවරණ දෙකක් සඳහා තරග කළ ප‍්‍රධාන දේශපාලන පක්ෂයක සභාපතිවරයාය.

අපේ රට සමග කිසිම බැඳීමක් නොමැති විදෙස් රටවල පුරවැසියන් රටේ ආර්ථික දේශපාලන සහ ආරක්ෂක මර්මස්ථානවල ඉහළ තනතුරුවලට පත්වීම රටට ඉතාම විනාශකාරී ප‍්‍රතිඵල ලබා දිය හැකිය.

ඔවුන් තමන් සේවය කරන රටේ ආරක්ෂක ආර්ථික අභිලාෂ වෙනුවෙන් නොව සිය පුරවැසිභාවය සහිත රටේ අභිලාෂ වෙනුවෙන් කටයුතු කළහොත් සිදුවන්නේ බලවත් නස්පැත්තියකි. ඔවුන් එසේ නොකරන බවට අපට කිසිදු සහතිකයක් ද නැත. එවැනි පුද්ගලයන් මාර්ගයෙන් රටේ ඉතාම සංවේදී ආර්ථික ආරක්ෂක තොරතුරු විදෙස් ඔත්තු සේවා අතට පත්වීම තරම් භයානක කරුණක් තවත් නැත.

එහෙයින් අපේ රට සමග කිසිදු නෛතික බැඳීමක් නොමැති විදෙස් පුරවැසියන් රටේ ඉහළ රාජ්‍ය තනතුරු දැරීම ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු යාමටත් වඩා භයානක තත්ත්වයකි.  ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තහනම් කරන නියෝග බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති ප‍්‍රතිපාදන මෙන්ම විදෙස් පුරවැසියන් මේ රටේ ඉහළ රාජ්‍ය තනතුරු දැරීම අවුරාලන නීති ප‍්‍රතිපාදන ද වහා සම්පාදනය කළ යුතු බව අප අවධාරණය කරන්නේ ඒ නිසාය.