ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය 2017 වසර වෙනුවෙන් සංවිධානය කළ ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය යටතේ පසුගිය සති අන්තයේ පවත්වන ලද තරග අටෙන් හතකදීම ජය පරාජයන් විසඳුන නමුත් රාජගිරියේදී මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජය අතර පැවති තරගය පමණක් දෙපිලම ගෝල එක බැගින් වාර්තා කිරීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් වී තිබිණ.

එහිදී කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ සුපර් සන් පිල හා නාවලපිටිය අප් කන්ට්‍රි ලයන්ස් පිල අතර පැවති තරගයේදී ගෝල 5-2ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට සුපර් සන් පිල සමත් වූ අතර සී.ආර්. ක්‍රීඩාංගණයේ කලම්බු එෆ්.සී. පිල හා කළුතර බ්ලූස්ටාර් පිල අතර පැවති තරගයෙන් කලම්බු එෆ්.සී පිලට ගෝල 5-0ක පහසු ජයක් හිමිවූහ.
වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී නිව් යංග්ස් පිල සමග තරග වදින්නට එහි ගිය ජාවා ‍ලේන් පිලට ගෝල 4-0ක පරාජයක් රැගන එන්නට සිදුවුණි.

මේ අතර මේ දක්වාම එක තරගයකදී පමණක් ජයග්‍රහණයක් වාර්තා කර තිබූ ‍පොලිස් පිලද ‍පොලිස් ක්‍රීඩාංගණයේදී මුණගැසුණු නිගම්බු යූත් පිලට ගෝල 3-0කින් සංග්‍රහ කොට දෙවැනි ජයග්‍රහණය සටහන් කරනු ලැබිය.

ඒ හැරුණු විට සති අන්තයේ සිටි ලීග් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගෝල 1-0ක් ලෙස මාතර සිටි පිලද කැලණියේ පැවති තරගයේදී රිනවුන් පිල වෙතින් යුද හමුදාව ගෝල 3-2ක් ලෙසද පරාජය වූ නමුත් අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සිදුව තිබුණේ ප්‍රබල කණ්ඩායමක් වන සෝන්ඩර්ස් පිලටය.
ඔවුන් කැලණියේදී ගම්‍පොළ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයෙන් ගෝල 3-1 පරාජයක් භාරගෙන තිබිණි.

සීවලී එදිරිවීර