හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න් ට අදාළ ලිපිගොනු 470,000 ක් මුදා හැරීමට ඇමෙරිකානු රාජ්‍ය බුද්ධි සේවය වන සී.අයි.එ් සංවිධානය පියවර ගෙන තිබේ.

මෙම ලිපිගොනු අතරට ඔහුගේ පෞද්ගලික දිනපොත්, සහ විවිධ ලිපි ලේඛන, විඩියෝ පට හා හඬ පට ආදිය ඇතුළත් බවද සඳහන් වේ.

එලෙසම මේවා අතර ඔහුගේ පුත‍්‍රයකු වන හම්සා ගේ මංගල උත්සවයේ දර්ශනද ඇතුළත්ව ඇති බව සඳහන් වේ.
පාකිස්ථානයේ ඔහු අවසන් වරට සැඟව සිටි නිවසේ තිබී සොයාගත් ලිපි ලේඛන මේ ආකාරයට ප‍්‍රසිද්ධියට පත්කළ සිව්වන අවස්ථාව මෙයයි.

මෙම වැටලීමේදී සොයා ගත් පරිඝනකයක තිබී හොලිවුඞ් චිත‍්‍රපට, ළමා කාටූන්, බින් ලාඞ්න් විසින්ම තමා පිළිබඳවම සැකසු වාර්තා චිත‍්‍රපට ත‍්‍රිත්වයක් හමුව ඇති අතර ප‍්‍රසිද්ධියට පත් කරන ලද ලිපි ගොනු අතරට එ්වාද අයත් වේ.
රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ කිසිදු ලේඛනයක් මෙහිදී ප‍්‍රසිද්ධියට පත් නොකළ බවද සී.අයි.එ් සංවිධානය සඳහන් කර තිබේ.

සී.අයි.එ් සංවිධානය සඳහන් කර ඇත්තේ ත‍්‍රස්තවාදය මෙන්ම එහි ක‍්‍රියාකාරීත්වය පිළිබඳව වඩා නිවැරදී අවබෝධයක් ඇමෙරිකානු ජනතාවට ලබා දීමේ අරමුණ ඇතිව මේ ආකාරයට අදාළ ලිපි ගොනු ප‍්‍රසිද්ධියට පත්කළ බවයි.

(සී.එන්.එන්*