ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම් නම්කර අනුමැතිය ක්‍රීඩා අමාත්‍යවරයා අතින් ලබාගැනීමේදී ක්‍රීඩකයන්ගේ නම් සමග ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා සහතිකය එක් කිරීම අනිවාර්ය බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව එළැඹෙන ඉන්දීය ක්‍රිකට් සංචාරයේ ක්‍රිකට් කණ්ඩායම්වල අනුමැතිය ගැනීමට තේරීම් කමිටුව තෝරන ක්‍රීඩකයන්ගේ නම් සමග ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා සහතිකය මගින් ඇතුළත් වීම සඳහා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව තහවුරු කළ යුතු බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රාහැම් ලැබ්රෝයි පවසා සිටී.

ශාරීරික යෝග්‍යතා සහතිකය නොමැතිව කිසිම ක්‍රීඩකයකු තේරීමට භාජනය කළද එයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබෙනු ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට්වලට එක්කර ඇති මෙම නව නීතිය අනෙක් ක්‍රීඩාවන් සඳහාද ලබන වසරේ (2018) ජනවාරි 1දා සිට බලපවත්වන පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇත.

මේ අතර එළැඹෙන ශ්‍රී ලංකා පි‍ලේ ඉන්දීය ටෙස්ට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් හා අසේල ගුණරත්න හා කුසල් ජනිත් පෙරේරා අතරින් ගුණරත්න හා කුසල් ජනිත් තවමත් අදාළ ශාරීරික යෝග්‍යතාව සම්පූර්ණ නැති බවත්, මොවුන් දෙදෙනා ඉදිරියේ දෙසැම්බර් 10 සිට ඇරඹෙන එක්දින තරගාවලිය සඳහා සැලකීමට භාජනය වන බවත් ක්‍රිකට් තේරීම් කමිටුව දන්වා ඇත. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් පමණක් මෙම ක්‍රීඩකයන් තිදෙනා අතරින් ටෙස්ට් සංචිතය සඳහා සලකා බැලීමට නියමිතය.

ධම්මික රත්නවීර