රංගන හේරත් සහ චමරි අතපත්තු ඩයලොග්  ක්‍රිකට් සම්මාන උළෙ‍ලේ වටිනාතම සම්මාන ලෙස වසරේ ඩයලොග් ක්‍රීඩක සම්මාන ලබාගැනීමට සමත් වූහ. බත්තරමුල්ල වෝටර්ස්එජ්හිදී පැවැති මෙම සම්මාන උළෙ‍ලේදී පාදඟ පන්දු යවන සුපිරි ක්‍රීඩක හේරත් වසරේ ටෙස්ට් හොඳම පන්දු යවන්නා සම්මානයටද පාත්‍ර වූ අතර තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මෙවර සම්මාන හතරකට හිමිකම් කීම කැපී පෙනුණි.

ජාත්‍යන්තර ඕවර විස්ස-20 ක්‍රිකට් පිටියේ දක්ෂතම පිතිකරු තුන් ඉරියව් ක්‍රීඩක සම්මාන, එක්දින පිටියේ තුන් ඉරියව් සම්මානය මෙන්ම වසරේ වඩාත් බලා‍පොරොත්තු සහිත ක්‍රිකට් ක්‍රීඩක සම්මානය අසේල ගුණරත්න ලබද්දී වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස නිරෝෂන් දික්වැල්ල සම්මාන ලැබිය.

වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙස ධනංජය ද සිල්වා සම්මාන ලැබූ අතර ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස දිල්රුවන් පෙරේරා සම්මාන ලැබිය. මේ අතර සුරංග ලක්මාල් හා ලසිත් මාලිංග පිළිවෙළින් එක්දින හා ඕවර විස්ස-20 හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබූහ. එක්දින හොඳම පිතිකරු ලෙසට සම්මාන ලැබිමට කුසල් මෙන්ඩිස් සමත් විය.

මේ අතර කාන්තා ක්‍රිකට් පිටියේ සුවිශේෂී ක්‍රීඩිකාව බවට චමරි අතපත්තු නම්වූයේ දේශීය ඕවර විස්ස-20 තුන් ඉරියව් දක්ෂතම ක්‍රීඩිකාව, එක්දින දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව, ජාත්‍යන්තර එක්දින පිටියේ ඕවර විස්ස-20 දක්ෂතම පිතිකාරිය, එක්දින දක්ෂතම පිතිකාරිනිය සම්මාන සඳහාද ඇගයීමට බඳුන් වෙමිනි.

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මනිඳු හසරංග සම්මාන ලැබූ අතර නැගී එන ක්‍රීඩකයා බවට පත්වූයේ රොන් චන්ද්‍රගුප්තය.

විශේෂ සම්මාන ලෙස ජාත්‍යන්තර හොඳම විනිසුරු ලෙස කුමාර් ධර්මසේනද, දේශීය පිටියේ හොඳම විනිසුරු ලෙස රැන්වෝ මාටිනස් සම්මාන ලබද්දී දේශීය හොඳම තරග තීරක ලෙස වෙන්ඩල් ලැබ්‍රෝයි සම්මාන ලැබිය. වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා ලෙසට සන්ඩේ ටයිම්ස්හි  ක්‍රීඩා කර්තෘ චම්පික ප්‍රනාන්දු සම්මාන දිනූ අතර මෙවර එක්කරනු ලැබූ අලුත්ම සම්මානය ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද සේවය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ සම්මානය (ඹ්ඪටඥ බඪථඥ ඉඥපමඪජඥ ඒඹචපඤ) හිටපු ක්‍රිකට් ‍ලේකම්වරයකු මෙන්ම විධායක සභිකයකු වූ නීල් පෙරේරාට හිමිවීම විශේෂත්වයකි.

1983 ඉන්දීය ලෝක කුසලාන දිනූ ක්‍රිකට් පි‍ලේ නායක කපිල් දේව් මෙම සම්මාන උළෙ‍ලේ විශේෂ ආරාධිතයා වූ අතර, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූහ. ක්‍රිකට් ප්‍රධානී තිලංග සුමතිපාල ඇතුළු නිලධාරීන්, රැසක් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම සම්මාන රාත්‍රියට එක්වූ අතර ඩයලොග් සමාගමේ ප්‍රධාන අලෙවි කළමනාකරු අමලි නානායක්කාර සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙයිනර් ඩොයිස්මාන්ද එක්වූහ.

ධම්මික රත්නවීර
ඡායාරූප – ඒෂාන් දසනායක

Untitled-12 Untitled-11 Untitled-10 Untitled-9 Untitled-7 Untitled-6