පාකිස්තානය හමුවේ දිගින් දිගට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරාජය වුවද ශ්‍රී ලංකා ‘ඒ’ පිල බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සමග හොඳ සටනක් දෙමින් සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙස ජයග්‍රහණය කිරීමට කිංග්ස්ටන්හිදී සමත් විය.

ප්‍රථම එක්දින තරගය ශ්‍රී ලංකා ‘ඒ’ පිල කොදෙව් පිල හමුවේ ඉනිමක හා ලකුණු 13ක පරාජයක් ලැබුවද දෙවැනි හා තෙවැනි තරගවලදී දක්ෂතා අතරට එමින් කොදෙව් ‘ඒ’ පිල පරාජය කිරීමට සමත් වූ අතර තරගාවලිය පුරා ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ දක්ෂතා වඩාත් කැපී පෙනුණි. ඒ අනුව ජයග්‍රහණයේ නියමුවන් ලෙස පාදඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර හා පිටදඟ පන්දු යවන ෂෙහාන් ජයසූරිය කඩුලු අතරට ප්‍රවේශ වීම කැපී පෙනේ. ප්‍රථම තරගයේදී නායක ධනංජය ද සිල්වා ලකුණු 104ක් ලබා කැපී පෙනුණ පිතිකරු බවට පත්වුවද කොදෙව් ‘ඒ’ පිල ලැබූ කඩුලු 8ට ලකුණු 364ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ලකුණු 212ට සීමා විය. දෙවැනි ඉනිම ලකුණු 139කට දැවී යෑමෙන් ඉනිමක හා ලකුණු 13ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි හා තෙවැනි සිව්දින තරගවලදී වඩාත් දක්ෂතා අතරට පැමිණියේ කොදෙව් ‘ඒ’ පිලට ප්‍රබල තර්ජනයක් එල්ල කරමිනි.

දෙවැනි තරගයේදී දසුන් ශානක නොදැවී ලකුණු 102ක්ද, ධනංජය සිල්වා ලකුණු 73ක් ලබා ලකුණු 294ක් ප්‍රථම ඉනිමට ගොඩනැගූ ශ්‍රී ලංකා ‘ඒ’ පිල කොදෙව් ‘ඒ’ පිලට අභියෝග කළේ මලින්ද පුෂ්පකුමාර ලකුණු 52ට කඩුලු 6ක් ලබා ඉනිම ලකුණු 137ට සීමා කරමිනි. රොෂේන් සිල්වා ලකුණු 86ක්ද, දසුන් ශානක ලකුණු 60ක්ද ලබා කඩුලු 9ට ලකුණු 267ක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ පිල කොදෙව් ‘ඒ’ පිලට ලකුණු 425ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදුන්නද නැවතත් පුෂ්පකුමාර ක්‍රියාත්මක වීම නිසා ලකුණු 144කට සීමා කරමින් කොදෙව් ‘ඒ’ පිල හමුවේ ලකුණු 280ක ජයක් ලැබිමට ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත් විය.

තෙවැනි සිව්දින තරගය වනවිට දසුන් ශානකද ශ්‍රී ලංකා ‘ඒ’ පිලෙහි සිට ශ්‍රී ලංකා ඕවර විස්ස-20 පිලට කැඳවීම් ලැබිම නිසා කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ’ පිලට නිපුන් කරුණානායක ආරම්භක පිතිකරණයට කැඳවා මුල් තරග දෙකෙහි ආරම්භක පිතිකරු වූ සඳුන් වීරක්කොඩි මැද පෙළට නම් කරමින් නව සැලසුමකින් ක්‍රීඩා කිරීමට පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන කටයුතු කර තිබුණි.

කොදෙව් ‘ඒ’ පිල ප්‍රථම ඉනිම සුනිල් ඇම්බ්‍රිස් ලකුණු 101ක් ලැබුවද ලකුණු 181කට සීමා කරමින් මලින්ද පුෂ්පකුමාර නැවතත් ලකුණු 67ට කඩුලු 4ක් ලැබිම කැපී පෙනුණි. ශ්‍රී ලංකා ‘ඒ’ ප්‍රථම ඉනිම ලකුණු 273ක් ලැබූ අතර නායක ධනංජය ද සිල්වා ලකුණු 64ක්, රොෂේන් සිල්වා ලකුණු 52ක් ලැබිම කැපී පෙනුණි. කොදෙව් ‘ඒ’ දෙවැනි ඉනිම නායක ෂම්රා බෘෘකස් ලකුණු 52ක් ලබා හොඳම ආරම්භයක් ලැබුවද  ලකුණු 118කට සීමාවූයේ ෂෙහාන් ජයසූරිය ලකුණු 60ට කඩුලු 6ක්ද, මලින්ද පුෂ්පකුමාර ලකුණු 19ට කඩුලු 4ක්ද ලැබිම හේතුවෙනි. ජයග්‍රාහී ලකුණු 27ක ඉලක්කය ලැබිමට ආරම්භක පිතිකරු යුගලය රොන් චන්ද්‍රගුප්ත (3) හා නිපුන් කරුණානායක (17) සමත් වීම නිසා කඩුලු 10ක පහසු ජයක් සමගින් තරගාවලියේ ජය 2-1 ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ පිල සටහන් කරගනු ලැබිය.

 ධම්මික