ශ්‍රී ලංකා පකිස්තාන තෙවැනි ඕවර විස්ස – 20  තරගය ලාහෝර්හිදී නිමාවට පත්වූයේ පාකිස්තානයට ලකුණු 36ක ජයක්  ලබමින් තරගාවලිය ද 3-0 ලෙස ජයග්‍රහණය කරමිනි.

වසර අටකට පසුව පූර්ණ ටෙස්ට් වරම්  ලැබූ රටක් ලෙස මුලින්ම ජාත්‍යන්තර තරගයක යෙදෙමින් ශ්‍රී ලංකා පිල පාකිස්තානයේ ක්‍රිකට් වසන්තය නැවත ආරම්භ කිරීමත් සමග පාකිස්තානය නව පරිච්ජේදයක් ආරම්භ වූ බව පාකිස්තාන ක්‍රිකට් සභාපති  නජාබ් අසීස් සේති පැවසීය. ලාහොර් ක්‍රීඩාංගණයට දැඩි ආරක්ෂාව තරකර තිබූ අතර ප්‍රේක්ෂකයන් 25,000කට වඩා මෙම තරගයේ අපූරු ආස්වාදයක් ලැබුවේ ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් ජාත්‍යන්තර තරග නැවතත්  දැක ගැනීමේ අවකාශ  ලැබූ හෙයිනි. කාසියේ වාසිය තිසර පෙරේරා ලබා ප්‍රතිවාදි පාකිස්තානයට මුලින්ම  පිතිකරණයට ඇරයුම් කරනු ලැබූ මෙම තරගයේ  පළපුරුදු ක්‍රීඩක ෂොහිබ් මලීක් පන්දු 23ක් කින් අර්ධ ශතකයක් ලැබිමත් තරගවලින්  ප්‍රථම වරට කැඳවුම් ලැබූ මොහොමඩ් ආමීර් ලකුණු 13කට කඩුලු 4ක් ලැබිම නිසා ශ්‍රී ලංකා පිලට පරාජය වැළඳ ගැනීමට සිදුවූයේ ලකුණු 181 හඹා යාමේදී ඕවර 20 තුළ ශ්‍රී ලංකා පිල කඩුලු 9ට ලකුණු 144ට සීමා වූ බැවිනි.

පන්දු 36කින් ලකුණු 54ක්  4 පහර 5ක් සහ 6 පහර 3ක් ලබා ගත් දසුන් ශානක ජයග්‍රහණයට ලොකු ප්‍රයත්නයක් ගනු ලැබූ ශ්‍රී ලංකා පිලට මුල්පෙළ පිතිකරුවන් තිදෙනකුට ඕවර 4ක් ඇතුළත ලකුණු 21ට දැවී යාම නිසා ගොඩ ඒමට නොහැකි වීම කනගාටුවට කරුණක් වූයේ පාකිස්තානු වේග පන්දු බලඇණිය හමුවේ නැවතත් පසුබෑමට හසුවූ බැවිනි.
කෙසේ වුවත් පාකිස්තාන ගඩාෆි ක්‍රීඩාංගණයේදී ෂොහිබ් මලීක් තරගයේ වීරයා තරගාවලියේ වීරයා සම්මානයට පාත්‍රවීම කැපී පෙනුණේ කලකට පසුව මව් රටේ දී දක්ෂතා පෙන්වීමෙන් ජයග්‍රහණයට මලීක් උරදීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී තිලංග සුමතිපාල පැවසුවේ ක්‍රිකට් තරගයේ ජයපරාජයට වඩා සහභාගිත්වය තුළ පාකිස්තානයට ශ්‍රී ලංකාවේ මෙම අවස්ථාවේ ලබාදුන් දායකත්වයේ ඉහළ වටිනාකමක් ඇති බවයි. අපටත් අවුරුදු 30 යුද්ධයට අත්දැකීම් තිබෙනවා. එදා පාකිස්තානය  1996 අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පැමිණියා. අපි  ඒ නිස පාකිස්තානය කිසිවිට තනිකරන්නේ නැහැ.  ශ්‍රී ලංකාව හා පාකිස්තාන රජය මට්ටමෙන්  හොඳ ස්ථාවරයක ඉන්නවා. ඒ වගේම  මේ අවස්ථාවේ ආරක්ෂාව ගැන හොඳ  සහතිකයක් ලැබුණ නිසා අපි හිතුවා පාකිස්තානයට පැමිණ තරග කිරීම. අපේ යුතුකමක් පාකිස්තානයට උදව් කිරීම. පාකිස්තානයේ ක්‍රිකට් දුර්වල වුණොත් ආසියාවේ ක්‍රිකට් දුර්වල වේවි. එතකොට ලෝකයේ ක්‍රිකට් ද දුර්වල වේවි.  මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ලෙසට අපි පාකිස්තානයේ ක්‍රිකට් සඳහා සහයෝගය දක්වනවා යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී තරගයට පෙර පැවසුවේ විශේෂයෙන් ආසියානු කලාපයේ පාකිස්තානය ඉතා හොඳ  සහෝදරත්වයක්  සහිතව ඉදිරියට ගෙනඑමින් ඔවුන් තනිකිරීමට ලක්නොවන ලෙස කටයුතු කළ යතු බව මතක් කරමිනි.

මේ අතර පාකිස්තාන  ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජාබ් අසීස් සේති පැවසුවේ  මෙම තරගය අලුත් ප්‍රවේශයක් පාකිස්තානයට ලබාදුන් බවත් එළඹෙන වසරේ අප්‍රේල් ආසියානු කුසලාන  නැගීඑන ක්‍රීඩකයන්ගේ තරගාවලියට සත්කාරකත්වය පාකිස්තානයට ලබාදෙන බවයි. මේ සඳහා ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, බංගලාදේශය හා ඇෆ්ගනිස්තානය සහ සුදුසුකම් ලාභීන්ගේ තරගාවලියෙන් ජයග්‍රහණය කරන රට ද ඇතුළුව රටවල් 6ක් සහභාගිවනු ඇති බවද පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී පැවසීය.

ශ්‍රී ලංකා  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ධම්මික රත්නවීර

Untitled-17