අපේ රටේ බොහෝ දෙනා තමන්ට පැවරී ඇති රාජකාරිය හැර අනිත් සියල්ල කිරීමට ඇපවෙති. කැපවෙති. දේශපාලකයෝ මැනවින් රට පාලනය කිරීම හැර අන් සියල්ල කරති. ඇතැම් ගුරුවරු රජයේ පාසලේ ඉගැන්වීම හැර තමන්ගේ සවස් කාලය ද සති අන්තය ද දරුවන්ගේ දෑස් පෑදීම පිණිස ම වෙන් කරති. මේ අතර කැකිරාව මඩාටුගම රේවත මහා විද්‍යාලයේ ගුරු පිරිසක් තවත් වැඩ කිහිපයකට අත ගසා තිබේ. ඒ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ කටයුතු සහ අධිකරණ කටයුතුය.

මේ ගුරුවරුන් ප‍්‍රසව හා නාරිවේද වෙදකම සම්බන්ධයෙන් කෙතරම් විශේෂඥයන් ද කිවහොත් යම් දැරියකට වමනය ගියහොත් ඒ ඈ ගැබිනියක නිසා බව ඔවුන්ට නිගමනය කළ හැකිය. අනතුරුව ඔවුන්ගෙන් සැඳුම්ලත් පාසල් විනය පාලක සභාව මගින් දැරියගේ දෙමාපියන් ද පාසලට කැඳවා සියලූ චෝදනා ප‍්‍රකාශයට පත් කොට දැරිය පාසලින් ඉවත් කිරීමේ තීන්දුව ද ප‍්‍රකාශයට පත් කොට එය ක‍්‍රියාත්මක කිරීමට ද හැකිය.

මෙවැනි වෛද්‍ය විශේෂඥයන් සහ අධිකරණ විනිසුරුවරුන් පාසල්වල ඉගැන්වීම කටයුතුවලට යොමු කිරීම මහා අපරාධයකි. ඔවුන් රටේ රෝහල්වල සේවයට සහ අධිකරණයේ සේවයට යෙද වූයේ නම් ඉතාම පහසුවෙන් අදාළ වෛද්‍ය පරීක්ෂණ කරගත හැකි අතර අවුරුදු ගණන් ගොඩ ගැසෙන නඩු ඉතා පහසුවෙන් මාස කිහිපයකින් අසා නිම කළ හැකිය.

කෙසේ වුවද එම පාසලේ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥයින් විසින් ගැබිනියක ලෙස හංවඩු ගසා පාසලින් පලවා හැරී දැරිය ගැබිනියක නොවන බවත් මේ දැරියට පාසලේ දී වමනය ගොස් ඇත්තේ කුස ගින්න නිසා බවත් දඹුල්ල රෝහලේ වෛද්‍ය පිරිස තහවුරු කර තිබේ. කුස ගින්න දරාගත නොහැකිව වමනය ගිය දැරියකට ඇති තතු ගැඹුරින් නො විමසා අත්තනෝමතික ලෙස තීන්දු තීරණ ගෙන පෙර කී ගුරු පිරිස සැලකූ ආකාරය සිත් පිත් ඇති කිසිවකුට ඉවසිය හැකිද? අනුමත කළ හැකිද?

එදිනෙදා කුලී වැඩ කර ජීවත් වන පවුලක උපන් මේ අසරණ දැරියට තමන් අතින් සිදුව ඇත්තේ බලවත් අසාධාරණයක් බව දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන්ගේ පරීක්ෂණවලින් තහවුරු වූ පසු අදාළ ගුරුවරුන් එම වරද නිවැරදි කිරීමට හැකිව තිබිණි. එහෙත් සිදුව ඇත්තේ එම දැරිය නැවත පාසලට ගන්නේ නම් තමන් පාසලින් ඉවත් වන බවට රැුස්වීමක් පවත්වා තර්ජනය කිරීමය. මෙවැනි උද්දච්ච හැසිරීම් ප‍්‍රදර්ශනය කරන පිරිසක් එම පාසලට නොව රටේ අනාගතය තනන කිසිම පාසලකට නුසුදුසු බව අපේ අවංක හැඟීමයි.

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා – ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා යැයි උපදෙස් දෙන රටක කුස ගින්න ඉදිරියේ පරාජය නොවී පාසලට පැමිණි දැරියක මේ ආකාරයට අසරණ කිරීම ගුරුකමට නොව මිනිස්කමටත් නිගාවකි. කිසියම් නරුමයකු විසින් අපහරණය කිරීම නිසා ගැබ්ගත් දැරියක ඉදිරියෙහි වුව මේ ගුරු පිරිස හැසිරුණු ආකාරය අපට අනුමත කළ නොහැකිය. සමාජය අසරණ කළ දැරියක පාසලින් පලවා හැර නැවතත් මරා දැමීමට වඩා මානව හිතවාදී විකල්පයක් අපට නැතිද?

සමාජයේ දැන උගත් පිරිසක් වන ගුරුවරුන් දුප්පත් මිනිසුන් සහ ඔවුන්ගේ අසරණ දරුවන් ඉදිරියේ මීට වඩා සංවේදී ලෙස බුද්ධිමත් ලෙස හැසිරිය යුතුය. කුස ගින්දරින් දැවෙමින් සිටි මේ අසරණ දැරියට එල්ල වූ අභූත චෝදනාව නිසා ඈ සිය දිවි නසා ගැනීමට හදිසි තීරණයක් ගත්තේ නම් ඊට වගකියන්නේ කවුද? වෛද්‍යවරුන්ගේ නිගමනය අනුව නිවැරදි වූ දැරිය නැවත පාසලට ඇතුළු කර ගැනීමට පවා එරෙහි වන මට්ටමේ පිරිසක් උතුම් ගුරු වෘත්තියට සිදු කරන්නේ සුළුපටු හානියක් නොවේ.

මේ අතර අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සඳහා දැරියගේ මවට සහ පියාට කොළඹ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සඳහන් ලිපියක් ලැබී තිබේ. එදිනෙදා කුලී වැඩ කර යන්තම් දිවි ගැට ගසා ගන්නා අසරණ මිනිසුන්ට එම පරීක්ෂණය ද දඬුවමකි. කබලෙන් ළිපට දැමීමකි. ඉන් අදහස් වන්නේ මේ කැකිල්ලේ තීන්දුව ගැන පරීක්ෂණයක් නොකළ යුතු බව නොවේ. ඊට සම්බන්ධ වූ සියලූ පාර්ශ්ව ගැන විධිමත් පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම බලධාරීන්ගේ වගකීමකි. එහෙත් දඬුවම් ලැබිය යුත්තේ වරදකරුවන්ට මිස දැනටමත් වරක් නොව කිහිප වරක් නිකරුණේ දඬුවම් විඳ ඇති එම දැරිය හෝ දෙමාපියන් නොවේ. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් නැවත කිසි දිනක ඇති නොවන තැනට කටයුතු කිරීම ද මේ දැරියට යුක්තිය ඉටු කිරීමේම කොටසකි.