ඕනෑම ක්ෂේත්‍රයක මනා වූ අධ්‍යයනයකින් යුතුව නියැළෙනවා නම් ඒ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට හැකියාව ලැබිම පහසු කාර්යයක්. ඒ විදිහට හොඳ අධ්‍යයනයකින් රංගන ක්ෂේත්‍රයට ආපු නවක රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා, නැතිනම් සල්සපුනා හරහා ඔබේ ආලින්දයට එන ප්‍රිතිමා කියන්නේ. මේ ඇය ඇගේ ගමන ගැන අපට කියන්න එකතු වුණු මොහොතක්.

* කවුද මිෂෙල් දිල්හාරා කියන්නේ?
මිෂෙල් දිල්හාරා කියන්නේ තවමත් රංගනය ගැන අධ්‍යයනය කරමින් ක්ෂේත්‍රයට පිවිසි නවක රංගන ශිල්පිනියක්. ගොඩක් අය මාව හඳුනන්නේ මිෂෙල් නමින්.

* ඔබ වෘත්තීය වශයෙන් මොන ක්ෂේත්‍රයද නියෝජනය කරන්නේ?
මේ වෙනකොට මම රංගන ශිල්පිනියක්. ජීවිතේ මට සිහින දෙකක් තිබුණා. රංගනයට යොමුවීම සහ ගුරුවරියක් වීම.

* කොහොමද ඔබ මේ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?
උසස් පෙළින් පස්සේ තමයි රංගනයට යොමුවෙන්න මට පුළුවන්කමක් ලැබුණේ. අනෝජා වීරසිංහ මහත්මියගෙන් රංගනය පිළිබඳව හදාරන්න පන්තියකට යන්න අවස්ථාව ලැබුණා. ඒ හරහායි මට රංගන ශිල්පිනියක් හැටියට ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ.

* මොන වගේ පවුල් පසුබිමක්ද ඔබට තියෙන්නේ? ඔවුන්ගේ කැමැත්ත ඇතුවද ඔබ රංගනයට යොමුවන්නේ?
මගේ පවු‍ලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි.

* තරුණ ගැහැනු ළමයෙකුට නම රැකගන්න පුළුවන් තැනක්ද මේ ක්ෂේත්‍රය?
හරිම පහසුවෙන් වගේම ඉක්මනින් කටකතා පැතිරෙන තැනකයි මම ඉන්නේ. ගැහැනු ළමයෙක් විදිහට ගොඩක් පරිස්සම් වීම මෙතැනදි හරි වැදගත්. හොඳ ගතිගුණ වගේම අනිත් අයත් එක්ක වඩාත් සුහදශීලීව වැඩ කළොත් ගැහැනු ළමයෙක්ට රැඳෙන්න සුදුසුම තැනත් මෙතැන කියලයි මගේ අදහස. අපි හරියට අපිව හඳුනා ගත්තොත් අපේ ඉලක්කවලට යන්න අමාරු නෑ.

* රූපය රැකගන්න ගොඩක් මහන්සි වෙනවා ඇති නේද?
හැම වෙලාවෙම හිනාවෙලා ඉන්නයි මම උත්සාහ කරන්නේ. ගොඩක් අය හිතන් ඉන්නේ සුදු වෙනවා කියන්නේ ලස්සන වෙනවා කියලා. මමත් බාහිරින් සරල සත්කාර කරනවා. අභ්‍යන්තර පිරිසිදුකමයි ගොඩක් වැදගත්ය. ඒ වෙනුවෙන් යෝගා සහ භාවනා කරලා බාහිර සහ අභ්‍යන්තර වශයෙන් පිරිසිදු වෙනවා.

* නිදහස සීමාවෙලා නැද්ද?
ජීවිතේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන කාලය හරියට කළමනාකරණය කරගෙන අන්‍ය ජීවිතවලට බලපෑමක් නොවන විදිහට මම මගේ අරමුණුවලට යනවා.

* මොන වගේ අධ්‍යයනයක් කරලද ඔබ මෙතැන රැඳී ඉන්නේ?
පුංචි කා‍ලේ ඉඳන්ම මම හිතුවේ රංගනය කියන්නේ අනුකරණය කිරීම කියලා. නමුත් අනෝජා මැඩම් ළඟ රංගනය හදාරන්න ලැබෙනකොට හුදෙක් අනුකරණයම රංගනය ‍නෙවෙයි කියලා මම ඉගෙන ගත්තා. ඇයගෙන් අනතුරුව දමයන්ති ෆොන්සේකා මහත්මිය යටතේ මම රංගනය බැරෑරුම් විදිහට ඉගෙන ගත්තා. ඊට පස්සේ උජ්ඛා සිංහ කියන ගුරුතුමා යටතේ ඉන්දියානු ආභාසයෙන් රංගනයට පිවිසීමක් ගන්න මට පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම රන්දික සර්ගෙනුත් මම රංගනය හැදෑරීමක් කළා.

* ඔබව දකින්න ලැබෙන චරිත ගැන කතා කළොත්?
මගේ චරිතය ප්‍රීතිමා, එහෙමත් නැතිනම් ‍පොඩි පත්තරකාරී. අනෝජා මැඩම්ගේ අධ්‍යයනයන්ට අනුව නම් අවුරුදු 20ක් මා තුළ හිටිය මිෂෙල් දැන් ප්‍රීතිමා බවට පත්වෙලයි ඉන්නේ. සල්සපුනා නාට්‍යයේ ප්‍රීතිමා චරිතය මට මගේ හැකියාව විශ්වාස කිරීම මත ලැබුණ දෙයක් හැටියටයි මම දකින්නේ.

* ආසාවෙන් ලැබෙයි කියලා හිතන් ඉන්න චරිතයක් තියෙනවාද?
විශේෂ චරිතයක් ගැන මම බලා‍පොරොත්තුවෙන් නෑ. හොඳට අධ්‍යයනය කරලා යම් තැනකට ආවොත් ලැබෙන අභියෝගවලට බයවෙන්න අවශ්‍ය නෑ කොහෙත්ම. ඒ අධ්‍යයනය කැමරාව ඉදිරිපිටදී හොඳ පෞරුෂත්වයකින් චරිතයට අවතීර්ණ වෙන්න ලොකු ශක්තියක්.

* ඔබ කොහොමද චරිත තෝරාගන්නේ?
එකම චරිතයට කොටුවෙලා ‍ලේබල් වෙන්න මට අවශ්‍ය නෑ. මගේ අරමුණ, ගමනාන්තය කෙතරම් ප්‍රමාද වුවත් උඩුගං බලා යන මගේ ගමන මම නතර කරන්නේ නෑ කියන එක. ඒ අනුව අභියෝග මට අභියෝගාත්මක වෙන එකක් නෑ කොහෙත්ම.

* ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?
තවම ආරාධනා නොලැබුණත් සිනමාවට පිවිසෙන්න මම කැමතියි. සිනමාව තුළින් මගේ හැකියාවට වටිනාකමක් ගොඩනගා ගන්නත් මම බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී ටෙලි නාට්‍ය දෙකක් විකාශය වීමටත් නියමිතයි.

නඳුනි ආරියවංශ
ඡායාරූප – මධුසංඛ සිරිවර්ධන

asf