ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙහි අඛණ්ඩ පිතිකරුවන්ගේ සිදුවූ පසුබෑම  පාකිස්තානයට එරෙහිව පරාජයට මූලික හේතුවක් බව නායක උපුල් තරංග පවසයි.

පිතිකරුවන්ට වැරදීම් සිදුවෙන්න පුළුවන් තරගයක දෙකක. ඒත් දිගින් දිගටම මෙසේ වැරදි සිදුවේ නම් එයට කිසිම සමාවක් නැහැ. අපේ මුල් පිතිකරුවන් හයදෙනාගෙන් දෙදෙනකුට පමණයි තරගාවලියේ ලකුණු 75ට වඩා ගන්න හැකිවුණේ. අපි මේ ගැන ගොඩක් කතා කළා. වඩාත් විශ්‍ලේෂණාත්මකව මේ ගැන පෙන්වමින් පිතිකරුවන් ලෙස කළ යුතු කාර්යය ගැන දැනුවත් කළා. ඒත් පිටිය මැදට ගිය විට මෙය නියම ලෙස සිදුවුණේ නැහැ. කොහොම වුණත් නායකයා ලෙස මෙම පරාජයන්ගේ වගකීම භාරගන්නවා. ඒත් කණ්ඩායමෙන් ඉවත්ව යෑමට තවම මගේ කිසිම අදහසක් නැහැ. එහි වගකීම තියෙන්නේ තේරීම් කමිටුවේ සහ ක්‍රිකට් ආයතන බලධාරීන්ගේ. ශ්‍රී ලංකාව මේ වනවිට අඛණ්ඩව තරග 12ක පරාජයන් ලැබ ඇති අතර පසුගිය තරග 12 තුළ ලකුණු 240ට අඩුවෙන් ලබා තිබිමද කැපී පෙනේ. මෙම පාකිස්තාන තරගාවලියේදී අවස්ථා දෙකකදී පමණක් ලකුණු 200 සීමාව පසු කිරීමට සමත් විය.

අවසන් එක්දින තරගයේ ඕවර 26.2ක් තුළ ලකුණු 103ට දැවී යාම අනපේක්ෂිත කරුණකි. කෙසේ වුවත් උපුල් තරංග පවසන්නේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක්ද ඇති කරමින් නිරෝෂන් දික්වැල්ල මැද පෙළට අංක පහ පිතිකරු ලෙස යොදමින් සැලසුම් කළද අවසන් තරගයේ එයද ක්‍රියාත්මක නොවූ බවයි. දික්වැල්ල දඟපන්දු යවන්නන්ට එරෙහිව හොඳින් බැට් කරන නිසා අපි මැදට යොදා ගත්තා. ඒත් එයද සාර්ථක වුණේ නැහැ. මුල් ඕවර තුන තුළ කඩුලු 4ක්ම බිඳී යෑම තුළ අපිට ගැලවීමක් ලැබුණේ නැහැ යැයි උපුල් තරංග පැවසීය.

මෙම එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාර්ථක වූ පිතිකරු වූයේ නායක උපුල් තරංග ශතකයන් හා අර්ධ ශතකයන් ඇතුළුව ලකුණු 199ක් ලබා ගනිමිනි.

ළහිරු තිරිමාන්න අර්ධ ශතක 2ක් සමග ලකුණු 174ක් ලබා ඇති අතර තරග පහ තුළ වෙනත් කිසිම පිතිකරුවකුට ලකුණු 100 සීමාව ඉක්මවා යෑමට නොහැකි වී ඇත.

කෙසේ වුවත් නිරෝෂන් දික්වැල්ල තරග පහ තුළ ලබා ඇත්තේ ලකුණු 62ක්. සාමාන්‍ය 12.40 ලෙසයි. දිනේෂ් චන්දිමාල් තරග පහ තුළ ලකුණු 41 (සාමාන්‍ය 8.20) මිලින්ද සිරිවර්ධන තරග පහ තුළ ලකුණු 24 (සාමාන්‍ය 4.80) ලෙස සටහන්වීම තුළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම පැහැදිලි වේ.

ධම්මික රත්නවීර