ශ්‍රී ලංකා හොකී ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට  ශ්‍රී ලංකා-පාකිස්තාන ප්‍රවීණයන්ගේ කාන්තා හොකී කණ්ඩායම් අතර තරගය කොළඹ තුරඟ තරඟ පිටියේදී පසුගියදා පැවත්වූ අතර මෙම තරඟය ජය පරාජයෙන් තොරව නිමාවිය.

ජාතික හොකී කණ්ඩායම හිටපු නායක එච්.ජී.එම්. නාලීම් හා මාත‍ලේ රංජිත් අලහකෝන් එක්ව සංවිධානයෙන් පැවැත්වූ මෙම තරගාවලියේ ප්‍රධාන අමුත්තා ලෙස ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහභාගි විය.  අමාත්‍ය රවුෆ් හකීම් පැවසුවේ ශ්‍රී ලංකා හොකී ක්‍රීඩිකාවන් ද බටහිර රටවලට  අභියෝග කිරීමට තරම් දක්ෂතා ඇති බවයි.

බටහිර රටවල් හොකී ක්‍රීඩාවේ කැපී පෙනෙන දියුණුවක් පෙන්වන අතර ශ්‍රී ලංකා පාකිස්තාන් වැනි ආසියානු රටවල ක්‍රීඩිකාවන්ද අද ඔවුන්ට අභියෝග කිරීමට සමත්කම් ඇති බව අමාත්‍ය රවුෆ් හකීම් පැවසීය.

ශ්‍රී ලංකා -පාකිස්තාන ප්‍රවීණයන්ගේ කාන්තා හොකී තරගාවලියට  ක්‍රිකට් හා හොකී ජාත්‍යන්තර වර්ණ දිනූ ක්‍රීඩකයින් ලෙස ඉෂාක් ෂාබ්දීන් හා එස්.එච්.යූ. කර්නයින්, හිටපු ජාතික ක්‍රීඩකයන් මාර්වින් පී්‍රනා, මොහොමඩ් ජාන් (හිටපු ආසියානු ක්‍රීඩා හොකී නායක) මොහොමඩ් තමීම් මොහොමඩ් මුරාද් (කොළඹ හොකී සභාපති) කුතුබ්දීන්, හල්ලාජ්, මාලිනී මචාඩෝ, නිමල් හෙට්ටි‍පොළ,  රොහාන් දිසානායක, ශිරාන් මෂුරූන් යන අයද සහභාගි වූහ.