රිවිල යෝධ දරුවකු වෙසෙන පුවත ලංකාදීප කර්තෘ පදවිය හෙබවූ ඩී.බි. ධනපාල සූරීන්ට සැලවී තිබිණි. ඒ පුවත ඔහු සවන්පත් වූයේ විදේශ සංචාරකයන් විල්පත්තු වන උයනේදී දුටු යෝධ පුංචකුගේ වික්‍රම ගැන අභිරුචියෙන් කළ වර්ණනා ඇසුරෙනි. යෝධ පුංචා ගැන වාර්තාවක් ලියන ලෙස ධනපාලයන් කිහිප වරක්ම වාර්තාකරුවන් එවා තිබුණද සත්විය සපුරන තෙක් කිසිදු විස්තරයක් දීමට නොහැකි බව හොරිවිල මුත්තණුවන්ගේ දැඩි ස්ථාවරය වූයේය.

ධනපාල මහතා සිය අත් අකුරෙන්ම ලියූ ලිපි දෙකක් එවා තිබුණි. එකක් ලංකාදීප මහව වාර්තාකරු නිහාල්ද සිල්වාටය. අනෙක පාස‍ලේ මුල් ගුරුතුමන්ටය. ධනපාල සූරීන් පුවත්පත් කලා ලෝකයෙහි ඒ වන විට දැරූ උච්චස්ථානය අනුව ඔහුගේ ඉල්ලීමක් පැහැර හරින්නට බැරි සැටියකි. මුල් ගුරුතුමාට හැඟුණේ යෝධ පුංචා ගැන පුවත්පත් වාර්තාවක් සැපයීමට උපකාර කරන ලෙස කෙරුණු කාරුණික ඉල්ලීමක් එහි ගැබ්වූ හෙයිනි.

වස් දොස් වැදීම පිළිබඳව හිස් මුදුනින් සැලකූ පුංචිරාල හේරත් බණ්ඩා ගැන ලියනවාට කොහෙත්ම කැමැති වූයේ නැත. මුල් ගුරුතුමන් කළ ඉල්ලීම පැහැර හරින්නට නොහැකි හෙයින් ඔහු කැමැත්ත පළ කළේ තරමක අකැමැත්තකිනි.
එක්දහස් නවසිය පනස් හතර වසරේ ‍පොසොන් පුර පසළොස්වක ‍පෝදාට දෙසතියකට පෙර ඉරිදා ලංකාදීප පුවත්පතේ පුරා පිටුවක් යෝධයාගේ ඡායාරූප හා විස්තරවලින් සැරසිණි. ‍පොසොන් සමය අනුරාධපුරයට හා මිහින්තලයට දිවයිනේ සිව්දිගින් ජන ගඟ ගලන කාලයයි. ලක්දිව හැම මාවතක්ම අනුරපුර දෙසට යොමු වූවාක් වැන්න. ඉරිදා ලංකාදීප පුවත්පතේ විස්තර පළවීමත් සමග වන්දනා නඩ රැගත් රිය පේළි සැදී තඹුත්තේගම පාසල දෙසටත් හේරත් බණ්ඩා විසූ ගෙපැලටත් යොමු වූවාක් වැන්න.

වෙනදා ජනශුන්‍ය වියළි කටුක අඩිපාර සෙනගින් පිරුණි. උන්හිටි ගමන් මග දෙපස කඩ ‍පොඩි ඉදිවන්නට විය. වෙළෙන්දෝ නිබඳ ගැවසුණහ. අඩි පාර හෙළි පෙහෙළි වී යෝධ මාවත නම් විය.

සත් හැවිරිදි හේරත් බණ්ඩා ගොන් වස්සන් කරපිට තබාගෙන ඇවිද්දේය. කුඩා මෝටර් රථ එසවීය. තමා දක්නට පැමිණි සද්දන්ත මිනිසුන් ඔසවාගෙන ඔබ මොබ සැරිසැරීය. විශාල ගල් කුට්ටි දෑතින් ඔසවා ඈතට විසි කර පෙන්වීය.
‍පොසොන් වන්දනා නඩ පෙරළා ගම්බිම් කරා ගියේ යෝධයා ඇසුරෙහි නොමැකෙන අත්දැකීම් ලබමිනි. ඔවුහු ඒ පුවත් අතිශයෝක්ති වර්ණනාද ඇතිව පදමට ලුණු ඇඹුල් එක් කර පසල් දනව්වල වපුළහ. රජරට යෝධ පුංචා දැක බලා ගැනීමේ මහත් උනන්දුවක් රට පුරා පතළ වන්නට විය.

කූට මුදලාලිලාට ගණදෙවි නුවණ පහළ වන්නට කල් ගත වූයේ නැත. හේරත් බණ්ඩාට ප්‍රමාණවත් කෑමබිම සැලසීම දිළිඳු ගොවියකු වූ පුංචිරාලට මහ බරක් විය. පියාණන්ට රුපියල් විසිපහක තිහක ගාස්තුවක් ගෙවා රජරට වෙළෙඳ සිටුවරු, ළමා යෝධයා කුලියට ඉල්ලා ගත්හ. සමහරු රුපියල් පනහ බැගින් ගෙවීමට පවා කාරුණික වූහ. ළමා යෝධයා පන්සල්, සල්පිල්, පින්කම්, තොරණ, පෙරහර ආදී තන්හි ප්‍රදර්ශනය කරන්නට වූයේ එක් අයකුගෙන් සත විසිපහ පනහ අය කරමිනි. ආදී අනුරාධපුර යුගයෙන් පසු ලක්දිව ජනිත යෝධයා බලන්නට සෙනඟ ඇදී ආයේ දස දහස් ගණනිනි. මුදලාලිලාගේ ම¾ඩි තර වෙද්දී පුංචිරාලට ලැබුණේ ‍පොරොන්දු වූ රුපියල් විසිපහ, රුපියල් පනහ යනාදිය පමණි. ගෙදර දී කෑමට අගහිඟ දැනුණ ද ප්‍රදර්ශනවලදී ඔහුට ඇති පදම් ආහාර ලැබුණේය.

කවි කොළකාරයන්ට ද හේරත් බණ්ඩා කදිම ‘අලෙවි භාණ්ඩයක්’ වූයේය. යෝධයා ප්‍රදර්ශනය කළ තැන්වල එබඳු කවි කොළ විකිණෙන්නට වූයේ උණු කැවුම් මෙනි.

ලග්නේ මිථුන සම්භව යෝගයක් පිට
පැන්නේ මනු ලොවට ඌ හොඳ තැනක සිට
එරුණේ මවගෙ කිරි දෙතනේ එක ලෙසට
දුන්නේ එක තනෙන්මය බඩ පිරෙන්නට

යෝග පිට සිටිති ශනි කුජ පනි ඔන්න
පාළුවට ඇති දෙක තුන සිව් වැන්න
තේජස පිට සිටිති ගුරු දෙව් පස්වැන්න
යෝධයට හැකිලු කොතැනත් ජය ගන්න

සඳ දෙව් සිටිති බලවීමෙන් හය වැන්නේ
කේතා හතේ ඇත පාළුව අට වැන්නේ
රජ බුධ කිවි යෝග පිට ඇත නව වැන්නේ
බෝ බලවතෙකි ඔහු කාටද පරදින්නේ

මෙබඳු කවි කොළ රැසක්ම එකල ප්‍රචලිතව පැවතිණි.
1956 මැතිවරණ උණුසුම
වසර එක්දහස් නවසිය පනස් හයේ මහ මැතිවරණ උණුසුම එළැඹියේ යෝධයාගේ කතාව යටපත් කරවමින් මැතිවරණ උණුසුමින් මුළු රට කලඹවමිනි. හේරත් බණ්ඩා සිරිත් පරිදි ගමේ පාසලට ගියේය. සවිමත් බාහු යුග්මයෙන් ගහකොළ ඉදිරිණි. කර්කශ වියළි ‍පොළොවේ පස් පෙරැළිණි. සීයා දඩයම් කළ ගෝන නාම්බන් කුදලා ගෙනායේ ඔහුය. හේ වසුපැටියන් ඔසවා ගෙන ගම පුරා කරක්ගෑය. තඹුත්තේගම වැව් පිටිය කෙළිමඩල විණ. දෙවුර මත තබා වී බිස්ස අටුවට රැගෙන ආයේය. පියාණන් කැටිව කුඹුරු කෙටුවේය. හේන්වල කටුසර භෝග වගා දිගා කළේය. ඒ වන විටත් තඹුත්ගේම නිල් බළකොටුවක්ව පැවතිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතායි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බණ්ඩාරනායක මහතා තඹුත්තේගමට පැමිණෙන පුවත පැතිර ගියේ ලැව්ගින්නක් පරිද්දෙනි. සොම්නස් සිනාහඬ, උදේ‍යා්ගි කතාබහ, සැරසිලි ධජ පතාක, තොරණ ආදියෙන් අඩු මාවත් නොවීය. තඹුත්තේගම ප්‍රදේශවාසීන් වෙනුවෙන් බණ්ඩාරනායක මහතා පිළිගැනීම පැවරුණේ හේරත් බණ්ඩාටය.

බණ්ඩාරනායක මහතා රියෙන් බැස පිරිසට ආචාර කරමින් සිනාමුසු මුහුණින් යුතුව පෙරට එද්දී මල්දමක් අතැති යෝධයා පෙරමග හුන්නේය. නායකයාගේ හිස නිහතමානයෙන් පහතට නැමුණේය. අත්‍පොළසන් හා ජය ඝෝෂා පැතිරෙන්නට විය.

“මේ තමා තඹුත්තේගම යෝධයා”
ඔහු හඳුන්වා දින.
“යෝධයා කීවාටම මදි මොනද කරන්න පුළුවන් යෝධ වැඩ?”
බණ්ඩාරනායක මහතා විචාළේය.
“මට ඕන දෙයක් පුළුවනි.”
හේරත් බණ්ඩා නොපැකිළිව කීයේය.

“පුතාට පුළුවනිද මේ මහත්තයා උස්සාගෙන වේදිකාව වටේ වටයක් අරගෙන යන්න?”
“අ‍පෝ ඕක මොකක්ද?”
හේරත් බණ්ඩා එම පුද්ගලයා දෝතට වඩාගෙන වටයක් නොව වට දහයක්ම වේදිකාව වටේ ඇවිද්දේය. බණ්ඩාරනායක මහතා විස්මිත දෑසින් ඒ දෙස බලා හුන්නේ මහ පුදුමයෙනි. සෙනග අතර හුන් පුංචිරාලගේ දෑස කඳුළින් තෙත් විණි.
“පුතා මේ තමයි අපේ පාර්ලිමේන්තුවේ උන්නු උස මහතම මන්ත්‍රීතුමා.”

දෝතට රැගෙන ඇවිද්දේ කවුරුන්ද යන්න නොදත් හේරත් බණ්ඩාට බණ්ඩාරනායක මහතා පැහැදිලි කර දුනි. තඹුත්තේගම ගැමියනට මෛත්‍රීපාල සේනානායක මහතා අමුත්තකු නොවුවද හේරත් බණ්ඩා, ඔහු මුල්වරට දුටුවේ එදිනය.

“පුතා මං තෑගි මොකවත් අරගෙන ආවේ නැහැ. අපි මේ වතාවේ දිනනවා. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. මම දිනුවාම පුතා තාත්තත් එක්ක කොළඹ ඇවිත් මාව හමුවෙන්න. මම ඔයාට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යන තෙක් උගන්වනවා.”
බණ්ඩාරනායක මහතා කීයේ සිය පසුම්බිය දිගහැර රුපියල් දහයක නෝට්ටුවක් හේරත් බණ්ඩා අත තබමිනි. යෝධයා එම මුදල වැය කළේ පාන් කෑමටය.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ බලයට පත් වූයේ පාලක එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු ආසන අටකට පසුබස්සවමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගනිමිනි.
පුංචිරාල පුතණුවන් කැටිව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හමුවීමට ගියේ අගමැතිතුමන් හමුවීමට මගක් පාදා ගන්නා අටියෙනි.

“බො‍ලේ උඹලට ‍නෙවෙයි මටවත් අගමැතිතුමා හමුවෙන්න අමාරුයි. ටිකක් හිටින්. මං දවසක් කියන්නම්.”
මන්ත්‍රීවරයා කීවේය. බණ්ඩාරනායක ඝාතනය තෙක්ම ඒ දවස එළැඹුණේ නැත.

මේ අතරතුර දැඩි නියං සායකින් රජරට වැව් අමුණු සිඳී ගියේය. තඹුත්තේගම වැව් සිඳී ගියේ තොලකට වේළුණු මැ‍ලේරියා රෝගියකු පරිද්දෙනි. නියං සහනාධාර වැඩ‍පොළවල් ඇති කැරිණි. පුංචිරාලත් පුංචි හාමිනේත් නියං සහනාධාර වැඩපළවලට යන්නට වූහ.

රංජිත් අමරකීර්ති පලිහපිටිය
රංජිත් අමරකීර්ති පලිහපිටිය

තාත්තාට දවසකට රුපියල් හතරක්ද, අම්මාට රුපියල් දෙකක් බැගින්ද ලැබිණි. වයස අඩු නිසා හේරත් බණ්ඩාට වැඩට යා නොහැකි විය. පැයකට වරක් බඩගිනි හැදුණු හේරත් බණ්ඩාට කෑම්බිම් සැපයීම දෙමාපියනට මහත් දුෂ්කර කාරියක් විණි.

“ලංකාවේ වැඩියෙන්ම බඩගින්නේ හිටපු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි උන්නා නම් ඒ මගේ අම්මයි අප්‍පොච්චියි වෙන්නැති.”

හේරත් බණ්ඩා පසු කලෙක අප සමග කීයේ මහා දුක්මුසු හඬකිනි. රජරට ගොවි පවුලක වේලකට උයන කුරක්කන් හා දඩමස් සලාකයක් ඔහුගේ එක් අහර වේලකට නොසෑහිණි. සීයා, වනපෙත සරා ගොස් දඩමසක් සරි කරගත් විටෙක නම් දින කිහිපයක් කුසපුරා අහර ලැබිණි. තඹුත්තේගම රජයේ පාසල පිහිටියේ අනුරාධපුර-කුරුණෑගල මාර්ගයේ පනස්තුන් වන සැතපුම් කණුව අසලය. හේරත් බණ්ඩා ඒ අඩවියෙහි හිඳ වන්දනා නඩ නවත්වා, ගල් ඔසොවමින්, දැවැන්ත මිනිසුන් කරගසා පෙන්වමින්, කුඩා මෝටර් රථ ඔසවමින් නන්විධ ශිල්ප පාමින් පාන්, බනිස්, විස්කෝතු ආදියද නොයෙක් දෑද තෑගි ලෙස ලබා ගති. කුසට යන්තම් දැනෙන පරිදි සප්පායම් වී වැවෙන් වතුර බි ඉතිරි ආහාර අම්මාත් තාත්තාත් සහෝදර සහෝදරියනුත් උදෙසා ගෙදර ගෙන ගියේය. 1959 සැප්තැම්බර් මස 26දා අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක ඝාතනයෙන් මුළු තඹුත්තේගමම මළගෙයක් බඳු විය. ඒ ශෝකාග්නිය දිවයින පුරා එක්බඳුව පැතිර පැවැත්තේය. අගමැතිතුමන් අතට පත් කිරීමට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දුන් පෙත්සමට ගිය කල දසාව ගැන කිසිවකුත් කිසිවක් නොදත්හ.