21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එළැඹෙන 2018 අප්‍රේල් ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. බ්‍රිතාන්‍ය මහ රැජිනගේ පණිවුඩය රැගත් යෂ්ටි හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවටද (Queen Baton Rally) පසුගියදා ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය පණිවුඩය රැගෙන විශේෂ දූත පිරිසක් පැමිණියහ.

ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව බ්‍රිතාන්‍ය මහ රැජිනගේ යෂ්ටිය පිළිගැනීමේ උත්සව කොළඹත්, ගාල්ලත් සංවිධානය කරමින් ශ්‍රී ලංකාවටද ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේ පණිවුඩය ලබාදීමට පියවර ගෙන තිබුණි.

පසුගිය මාර්තු 13දා එංගලන්තයේ බකිංහැම් මාලිගය අසලින් ඇරඹුණ මෙම රැජිනගේ පණිවුඩය රැගත් යෂ්ටි හුවමාරුව ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතරට ගෙන යෑමට නියමිතව තිබුණි. ඒ අනුව 53 වැනි රට ලෙස ශ්‍රී ලංකාවටද පැමිණි මෙම ‍පොදු රජ මඬුලු යෂ්ටිය ඉන්පසුව මැ‍ලේසියාව බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටු‍පොළේ සිට කොළඹට විශේෂ පෙරහරකින් රැගෙන ආ යෂ්ටිය ඊට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතට භාරදීම සිදුවූ අතර ශ්‍රී ලංකා රාජ්‍ය නායකයකු මෙම යෂ්ටිය ප්‍රථම වරට ලබාගැනීම ලෙස මෙම අවස්ථාව ඉතිහාසයට එක්විය.}

ජාත්‍යන්තරයේ මිත්‍රත්වය ගොඩනගමින් විශේෂයෙන් ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාවේ සබඳතාවය තවත් තර කිරීමට ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය යෂ්ටි හුවමාරු වැඩසටහන වඩාත් වැදගත් වූ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.

1938 වසරේ සිට ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ දක්වා රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 7ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනා ඇත. ඒ අනුව බොක්සිං ක්‍රීඩක බානි හෙන්රිකස් කි.ග්‍රෑ. 57 බර පන්තියේ රන් පදක්කමක් ලබාගැනීම ප්‍රථම ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ශ්‍රී ලංකා පදක්කම බව ක්‍රීඩා අමාත්‍යවරයා මතක් කළේ ලොව සුපිරි ක්‍රීඩකයන් හා ගැටෙන මෙම ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතා දැක්වීමට එළැඹෙන 2018 වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවකාශ නැවතත් ලැබෙන හෙයිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 1950 දී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී යාර 440 කඩුලු පැනීමේ රන් පදක්කම ඩන්කන් වයිද 1994දී වික්ටෝරියා ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී වෙඩි තැබිමේ ඉසව්වෙන් පුෂ්පමාලි රාමනායක හා මාලි වික්‍රමසිංහ රන් පදක්කම හා 2006 මෙල්බන්හිදී බර ඉසිලීමේ කි.ග්‍රෑ. 62 ඉසව්වෙන් චින්තක ගීතාල් විදානගේ රන් පදක්කම් මේ වනවිට දිනා ඇත.

මලල ක්‍රීඩාවෙන් 1998දී ශ්‍රියානි කුලවංශ මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම මැ‍ලේසියාවේ ක්වාලාලම්පූර්හිදී ලැබ ඇති අතර එවර සුගත් තිලකරත්නද මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ලැබිම කැපී පෙනුණි. අවසන් වරට පැවති 2014 ග්ලාස්ගොව් (ස්විට්සර්ලන්තයේ) ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී සුදේශ් පීරිස් බර ඉසිලීමේ රිදී පදක්කම ලැබිය.

කෙසේ වුවත් මතෛක් ශ්‍රී ලංකාව වෙනුවෙන් බොක්සිං, වෙඩි තැබිම, මලල ක්‍රීඩා හා බර ඉසිලීමේ ක්‍රීඩාවන්ගෙන් පමණක් පදක්කම් ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ලැබ ඇත. ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ආසියානු කලාපීය උප සභාපති මෙන්ම ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරය දරන හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත විශේෂ ස්තුතියක් පිරිනැමූ ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව දරන ප්‍රයත්නයේ ප්‍රතිඵල පදක්කම් වැඩිපුර ගැනීමෙන් පෙන්වීමට නැවතත් එළැඹෙන වසරේ උදාවන බව පැහැදිලි කළේය.

මතෛක් කල් ශ්‍රී ලංකාවට පැමිණි ‍පොදු රජ මඬුලු යෂ්ටිය කොළඹින් පිට මහනුවරට සිව් වතාවක් ගෙන ගිය අතර මෙවර ප්‍රථම වතාවට දකුණු පළාතේ අගනුවර ලෙස ගාල්ලට ගෙන යෑමට කටයුතු කර තිබිමද විශේෂත්වයකි. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මේ වනවිට දකුණු පළාත් ක්‍රීඩා ඇමැති ලෙසද ක්‍රියා කරමින් ගාල්ලේදී යෂ්ටිය රැගෙන පාසල් දරුවන්, ක්‍රීඩකයන් හා එක්වෙමින් ඉතා අලංකාර ලෙස උත්සවයක් නිර්මාණය කිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා ස්තුතිය ප්‍රකාශ කළේ ඒ මගින් රැජිනගේ පණිවුඩය රැගත් යෂ්ටියට උපරිම හරසර පිදීමට හැකියාව ලැබුණ බවද පෙන්වා දෙමිනි. දකුණු පළාත ගාල්ල, මාතර, හම්බන්තොට කවදත් දක්ෂ ක්‍රීඩකයන් බිහිකරනු ලැබූ බවත්, එළැඹෙන ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී දකුණේ වැඩිපුර ක්‍රීඩකයන්ට දක්ෂතා දක්වා ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන ඒමට අවකාශ ලැබේවායි යන්න ප්‍රාර්ථනා කිරීමටද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමතක නොකළේය.

පළාත් ක්‍රීඩාංගණ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ගාල්ලට හා මාතරට ලබාදුන් අවස්ථාව එළැඹෙන වසරේදී හම්බන්තොටට ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීමද හම්බන්තොට ක්‍රීඩකයන්ට සුබ පණිවුඩයක් වනු ඇත. ග්‍රාමීය මට්ටමින් ක්‍රීඩාව නංවාලීම තුළින් ක්‍රීඩකයන් ජාතික මට්ටමට ගෙනඑමින් ඔවුන් ජාත්‍යන්තර දක්වා ගෙන යෑමේ වැඩපිළිවෙල දියත් කරන බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශය හා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව ගෙන යන වැඩපිළිවෙළ වඩාත් වැදගත් බවද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේය.

ධම්මික රත්නවීර
dhammikaratna@gmail.com

Untitled-9 Untitled-10