ඉතිහාසයෙහි යම් යම් කාරණා සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමේ දී ඇතැම් බෞද්ධ සූත‍්‍ර ධර්ම ආදිය ඓතිහාසික මූලාශ‍්‍ර වශයෙන් යොදා ගත හැකි ය. ඉන්දීය ඉතිහාසය පිළිබඳ කතා කිරීමේ දී දීඝ නිකායෙහි එන මහාපරිනිබ්බාණ සූත‍්‍රය වැනි සූත‍්‍රයන් ඓතිහාසික කරුණු තහවුරු කිරීමේ මූලාශ‍්‍ර වශයෙන් ද උපයෝගී වන්නේ ඒ අනුව ය. බොහෝ ථෙරවාදී සූත‍්‍ර ධර්මයන්හි එන ඇතැම් සිදුවීම් හා කාරණා එකී සූත‍්‍රයන්ට සමකාලීන වීම ඒවා ඓතිහාසික වශයෙන් සුවිශේෂී වීමට හේතු වී තිබේ. එහෙයින් ඒ සූත‍්‍ර ඓතිහාසික කරුණු විශ්ලේෂණයේ දී සහේතුකව යොදා ගැනීමේ කිසිදු වරදක් නැත. ඒ අනුව ලක්දිව විසූ බව කියන ‘රාවණ’ නමැති රජු සත්‍ය වශයෙන් ම ජීවත් වී යැයි සනාථ කිරීමට භාවිතා කරනු ලබන සූත‍්‍ර ධර්මයක් වන ලංකාවතාර සූත‍්‍රය එකී කර්තව්‍යයේ දී ප‍්‍රබල ඓතිහාසික මූලාශ‍්‍රයක්දැ’යි විමසා බැලීම කාලෝචිත ය.

ලංකාවතාර සූත‍්‍රය ථෙරවාදී ත‍්‍රිපිටකයට අයත් සූූත‍්‍රයක් නොවන බව මූලික වශයෙන් ම දැනගත යුතු ය. ඒ වනාහී මහායාන ධර්මයේ සම්පූර්ණ සාරය සංග‍්‍රහ කර ඇති සූත‍්‍රය වශයෙන් සැලකේ. මහායානිකයන් විසින් මෙය බුද්ධ දේශනාවක් යැයි පවසතුදු මෙම සූත‍්‍රය පසු කාලයේ ලියන ලද්දක් බව විචාරක මතය යි. ක‍්‍රි.ව. 443 දී පමණ මධ්‍ය භාරතයේ විසූ ආචාර්ය ගුණභද්‍ර නමැති භික්ෂුවක ලංකාවට පැමිණ ලංකාවේ දී මෙම සූත‍්‍රය චීන භාෂාවට පරිවර්තනය කළේ යැයි පැවසේ. ගුණභද්‍ර හිමියන්ගේ පරිවර්තනයට ලියන ලද චීන-ජපන් ටීකා ද රැුසක් ම පවතී. ඊට පසුව ක‍්‍රි.ව. 7 වන සියවසේ දී බෝධිරුචි නම් ආචාර්යවරයකු විසින් ද මෙම ග‍්‍රන්ථය පරිවර්තනය කරන ලදි. ලංකාවතාර සූත‍්‍රය අද පවතින ආකාරයට සකස් වන්නේ ක‍්‍රි. ව. 7 සියවසේ දී යැයි සැලකෙන අතර පසු කාලයේ දී මෙය ඉංග‍්‍රීසි ආදී භාෂාවන්ට ද පරිවර්තනය වී තිබේ.

පැහැදිලි වශයෙන් ම මේ වනාහී මහායාන සූත‍්‍රයක් බව මහායානිකයින් විසින් මෙය භාවිතා කිරීමත්, ථෙරවාදී ත‍්‍රිපිටකයෙහි කිසිදු තැනෙක මෙම සූත‍්‍රය දක්නට නොලැබීමත් යනාදී කරුණුවලින් පැහැදිලි කර ගත හැකි ය. එසේම පරිච්ෙඡ්ද නවයකින් යුත් මෙම සූත‍්‍රය ආරම්භ වන්නේ ‘ ඕං නමො රත්නත‍්‍රයාය,  ඕං නමො සර්වබුද්ධි බොධි සත්ත්වභ්යඃ’ වශයෙනි. පාලි සූත‍්‍ර ධර්මයන් ආරම්භ කරන ‘එවං මෙ සුතං’ යන ක‍්‍රමවේදය අනුගමනය කරමින්දෝ ලංකාවතාර සූූත‍්‍රය ආරම්භ වන්නේ ද ‘එවං මයා ශ‍්‍රැතම්’ යන පාඨය දක්වමිනි. ග‍්‍රන්ථය අවසානයෙහි මෙය හඳුන්වා ඇත්තේ ‘ආර්යසද්ධර්ම ලංකාවතාර’ යන නාමයෙනි.

මෙහි රාවණ සම්බන්ධයෙන් සඳහන් වන්නේ ප‍්‍රථම පරිච්ෙඡ්දයේ ය. එය හඳුන්වා ඇත්තේ රාවණාධ්‍යෙෂණි නමිනි. බුදුන් වහන්සේ මලය පර්වතයෙහි විසූ රාවණ රජුගේ ආරාධනයෙන් ලක්දිවට වැඩම කර මහාමති නම් බෝධිසත්වයින්ට මෙම සූත‍්‍රය දේශනා කළ බැව් එහි සඳහන් වේ. දේශනාව අතරතුර මහාමති බෝසතුන් බුදුන් වහන්සේගෙන් ද ප‍්‍රශ්න කරන අතර මෙම සූත‍්‍රයෙහි සඳහන් වන්නේ ලංකාව ‘මලය කඳු මුදුනේ’ පිහිටා ඇති  බවයි. රාවණ යනු එහි විසූ රජු ය.

හියුංසියං හිමියන් විසින් ද ලංකාද්වීපයෙහි ගිනිකොණ දෙසින් ලංකා නමැති පර්වතය පිහිටි බවත්, ඒ පර්වතයෙහි ගැඹුරු ප‍්‍රපාතයන්හි අමුනෂ්‍යයින් වාසය කරන බවත්, බුදුන් වහන්සේ ලංකාවතාර සූත‍්‍රය දේශනා කරන ලද්දේ මෙතැන්හි බවත් පවසා ඇත. මෙම සූත‍්‍රයෙහි දේව, දේවී, නාග, නාගී, යක්ෂ, යක්ෂණී වැනි අමනුෂ්‍යයන්ගෙන් සිදු වන උපද්‍රව වළක්වා ගැනීම පිණිස බුදුන් වහන්සේ විසින් දේශනා කළැයි සැලකෙන මන්ත‍්‍ර ද අන්තර්ගත කර ඇත. අප පැහැදිලිව මතක තබා ගතයුතු කරුණක් පවතී. බුදුන් වහන්සේගේ දේශනාවෙහි මන්ත‍්‍ර නැත. මන්ත‍්‍ර පැවතියේ බ‍්‍රාහ්මණ වැනි පැරණි ඉන්දීය ආගමික සම්ප‍්‍රදායන් තුළ ය.

එසේ ම ථෙරවාදයට පටහැනි යම් යම් කාරණාවන් ද ලංකාවතාර සූත‍්‍රයෙහි සංගෘහිත ය. නිදසුනක් වශයෙන් ලංකාවතාර සූත‍්‍රයෙහි අට වන පරිච්ෙඡ්දය වන මාංස භක්ෂණ පරිවර්තයේ මස් මාංස අනුභවයේ දොස් දක්වා ඇත. ථෙරවාදයේ උගන්වන ත‍්‍රිකොටි පාරිශුද්ධික මාංසය පවා මෙහි තහනම් කර තිබේ. (දේවදත්ත තෙරුන්ගේ පංච වරයන්ගෙන් එකක් වූයේ ද ‘භික්ෂූන් දිවි ඇති තෙක් නිර්මාංශී විය යුතු ය’ යන්නයි.*

මෙම සූත‍්‍රය බුදුන් වහන්සේ දේශනා කරන ලදැ’යි සඳහන් වතුදු කවර බුදුවරයකු මෙය දේශනා කළේ ද යන්න පැහැදිලි නැත. මෙය ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ එකක් නොවන බව නම් පැහැදිලිවම කිව හැකි ය. මන්ද යත් රාමයණයෙහි මුල් කොටසට සමාන කතා  පුවතක් ථෙරවාදී ග‍්‍රන්ථ තුළ දසරථ ජාතකය නමින් දක්නට හැකි අතර එහි සඳහන් වන්නේ රාම කුමරු වනාහී බෝධිසත්වයන් වහන්සේගේ පූර්ව ජන්මයක් බවයි. නමුත් රාමායණයෙහි දක්නට ඇතත් දසරථ ජාතකයෙහි රාවණා නමැති නාමයක් දක්නට නොලැබේ. දසරථ ජාතකය හා රාමායණය සම්බන්ධ දීර්ඝ ලිපියක් පසුගිය සතියක පළ කර තිබේ. ඒ අනුව දසරථ ජාතකය නිවැරදි නම් රාමායණයෙහි යුද්ධ කාණ්ඩය වැනි කොටස් ජනශ‍්‍රැතියේ එන ඇතැම් පුවත් අනුව හැඩගස්වා ඇති හුදු ප‍්‍රබන්ධ බව පෙන්වා දී තිබේ. එසේම ගෞතම බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර රාවණා නමැති එවකට ලක්දිව විසූ බලවත් පාලකයෙකුට ධර්මය දේශනා කළේ නම් පැහැදිලිවම ලක්දිව රචිත මුල් කාලීන ග‍්‍රන්ථවල ඒ අවස්ථාව සම්බන්ධයෙන් කුමක් හෝ තොරතුරක් සටහන් වී තිබිය යුතු ය. නමුත් එවැනි කිසිදු තොරතුරක් සඳහන් වී නැත. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථා පිළිබඳ සඳහන් කිසිදු තැනක රාවණාගේ ආරාධනයෙන් පැමිණි ගමනක් ගැන සඳහනක් නැත.

එසේම ථෙරවාදී ධර්මයන්ට පටහැනි ඉගැන්වීම් කිහිපයක් ම ඇති හෙයින් ලංකාවතාර සූත‍්‍රය යනු සම්බුද්ධ දේශනාවක් නොවන බව පැහැදිලි ය. ථෙරවාදී ත‍්‍රිපිටකය සංග‍්‍රහ වී ඇත්තේ පාලියෙනි. එසේ ම ගෞතම බුදුන් වහන්සේගේ කාලයෙහි මහායාන ධර්මයක් පැවතියේ ද නැත. මහායානය බිහි වන්නේ දෙවන ධර්ම සංගායනාවෙන් පසුව බව පිළිගන්නා මතයයි. ඒ අනුව ලංකාවතාර සූත‍්‍රය යනු  පසු කාලයක රචනා වූ එකකැයි සැලකීම සහේතුකය.

ලංකාවතාර නමැති මහායාන සූත‍්‍රය ඇති වීමේ පසුතලය ද කල්පනා කර බැලිය යුුතු ය. කාලයත් සමඟ ලාභාපේක්ෂාවෙන් බුදු සසුනේ පැවිදි වූ අන්‍ය ලබ්ධිකයින් මේ වනාහී බුද්ධ වචනය යැයි කියමින් ඇතැම් බ‍්‍රාහ්මණ හා හින්දු සංකල්පයන් වැනි අන්‍ය ආගමික සම්ප‍්‍රදායන්හි ඉගැන්වීම් මූලික කරගනිමින් කටයුතු කළ බව සමන්තපාසාදිකා වැනි අටුවා ග‍්‍රන්ථවල සඳහන් වේ. තුන්වන ධර්ම සංගායනාවක් අවශ්‍ය වන්නේ මෙවැනි දුර්මතධාරී භික්ෂූන්ගෙන් ශාසනය ආරක්ෂා කර ගැනීම පිණිස ය. සමකාලීන ශාසනයට අත් වී තිබූ ඉරණම පිළිබඳ විස්තර කිරීමට නිදසුනක් වශයෙන් සමන්තපාසාදිකාවේ බාහිර නිදාන වණ්ණනාවේ එන,

‘‘තෙපි ඛො තිත්ථියා භික්ඛුසංඝෙන ධම්මෙන විනයෙන සත්ථු සාසනෙන නිග්ගය්හමානාපි ධම්මවිනයානුලොමාය පටිපත්තියා අසණ්ඨහන්තා අනෙකරූපං සාසනස්ස අබ්බුදඤ්ච මලඤ්ච කණ්ටකඤ්ච සමුට්ඨාපෙසුං. කෙචි අග්ගිං පරිචරන්ති. කෙචි පඤ්චාතපෙ තප්පන්ති. කෙචි ආදිච්චං අනුපරිවත්තන්ති. කෙචි ධම්මඤ්ච විනයඤ්ච වොභින්දිස්සාමාති පග්ගණ්හිංසු.’’

(ඒ තීර්ථකයෝද ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් නිග‍්‍රහ කරනු ලබනෝ ම ධර්ම විනයට ගැලපෙන පිළිවෙතහි නොපිහිටමින් සසුනට නොයෙක් අයුරු අවුල් ද කළිටි ද කටු ද ඉපදවූහ. ඇතැමෙක් ගිනි පුදත්. ඇතැමෙක් පංචතාපය (සතරදෙස ගිනි දල්වා එහි මැද සිට එම ගිනිවලින් හා හිරු රශ්මියෙන් සිරුර තැවීම* තපිත්. ඇතැමෙක් හිරු අනුව (උදේ සිට හිරු බැස යන තුරු* පෙරලෙත්. ඇතැමෙක් ධර්මයත් විනයත් බිඳ හෙලන්නෙමුයි දැඩි සේ ඉටා ගත්හ. එසමයෙහි භික්ෂු සමූහයා ඔවුන් සමඟ පොහොය නොකළේ ය.*

යන සඳහන පෙන්වා දිය හැකි ය. ලංකාවතාර සූත‍්‍රයද බුද්ධ දේශනාවක් යැයි මහායානිකයන් පිළිගත්ත ද සැබැවින් ම එය දෙවන ධර්ම සංගායනාවෙන් පසු ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් හා බුදු සසුන දුර්වල කිරීමේ බලාපොරොත්තුවෙන් භික්ෂු ශාසනයට පැමිණි අන්‍ය මතධාරී තීර්ථකයන් විසින් නිර්මාණය කරන ලද්දක් බව සිතීම එක් අතකින් සාධාරණ යැයි සිතේ.

ධර්මාශෝක රජුගේ අනුහය යටතේ ශාසනය ශුද්ධ කොට ධර්ම සංගායනාවක් පැවැත්වූවද ඒ වන විටත් බුදු සසුන තුළම පැවති ථෙරවාදයට පටහැනි ඉගැන්වීම් සහිත නිකායන් සහමුලින් ම උදුරා දැමීමට අශෝක රජුට හැකි වූ බවක් පෙනෙන්නට නැත. මන්ද යත් ඉන් පසු කාලයේත් බුදුන් වහන්සේගේ දේශනාවට නොගැලපෙන ඉගැන්වීම් සහිත නා නා නිකායන් පැවති බවත්, ඒවා ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් තදාසන්න ඇතැම් රටවල්වලට ව්‍යාප්ත  වී ගිය බවත් පැහැදිලිව දැකිය හැකි හෙයිනි. එපමණක් නොව තෘතීය ධර්ම සංගායනාවෙන් ධවල වස්ත‍්‍ර හඳවා ශාසනයෙන් පිටුවහල් කළ ඇතැම් පිරිස් රජගහ නුවර සමීපයේ නාලන්දාවට රැුස් වී කතිකා කොට යළි පැවිදි වූ බවත්, පසුව කොසඹෑ නුවරට රැුස් වූ බවත් මූලාශ‍්‍රවල සඳහන් වේ. ඔවුන් විසින් ඇති කරගත් නිකායන් හා උක්ත නිකායන් ආශ‍්‍රිතව බිහි වූ ග‍්‍රන්ථයන් ද තරමක ප‍්‍රමාණයක් නිකාය සංග‍්‍රහයෙහි සඳහන් වී තිබේ.

’’…එයින් හේමවතයෝ බුදුන් වදාල තැන් මෙන් සද්ධර්මප‍්‍රතිරූපකොට වර්ණපිටකය කළහ. රාජගිරිහු අඕගුලිිමාලපිටකය කළහ. සිද්ධාර්ථකයෝ ගුඪවෙස්සන්තරය කළහ. පූර්වශෛලීහු රට්ඨපාල ගර්ජිතය කළහ. අපරශෛලිහු ආලවක ගර්ජිතය කළහ. වජ්රපර්වතවාසීහු ගුඪවිනය කළහ. තවද ඔහු හැම මායාජාලතන්ත‍්‍රය, සමාජතන්ත‍්‍රය, මහා සමයතත්වය, තත්වසංහය, භූතචාමරය, වජ‍්‍රාමෘතය, චක‍්‍රසංවරය, ද්වාදශචක‍්‍රය, භෙරුකාද්බුදය, මහාමායාය, පදනිඃක්ෂෙපය, චතුෂ්පිෂ්ටය, පරාමර්දය, මරීච්යුද්භවය, සර්වබුද්ධය, සර්වගුහ්යය, සමුච්චයය යනාදී වූ තන්ත‍්‍ර ද, මරිචිකල්පය, හෙරම්බකල්පය, ත‍්‍රිසමයකල්පය, රාජකල්පය, වජ‍්‍රගන්ධාරකල්පය, මරීචිගුහ්යකල්පය, ශුද්ධසමුච්චය කල්පය, මායාමරීචි කල්පය යනා දී වූ කල්ප ද ඉපදවූහ.

වෛතුල්යවාදීහු වෛතුල්යපිටකය කළහ. අන්ධකයෝ රත්නකූටාදී වූ ශාස්ත‍්‍රාන්තර රචනා කළහ. අන්‍ය මහා සාඕඝිකයෝ අක්ෂරසාරියා වූ සූත‍්‍රාන්ත රචනා කළහ. ඔවුන් ඒ ප‍්‍රකරණ රචනා කළ ක‍්‍රම වෙන වෙන දක්වත් ඉතා බෙහෙවි…’’

යනාදී වශයෙන් එය පැහැදිලි ය. ඔවුන් විසින් ස්වකීය නිකායන්ට අනුගතව ඒ ඒ ප‍්‍රකරණ රචනා කළ ක‍්‍රම වෙන වෙන දැක්වුවහොත් අතිශය බොහෝ වන බව උක්ත ග‍්‍රන්ථයම පෙන්වා දී තිබේ. එහෙයින් ලංකාවතාර සූත‍්‍රය යනු බුද්ධ දේශනාවක් නොවන බව සහේතුක හෙයින් ඇතැම් විට මෙසේ පසු කාලයේ දී බුද්ධ දේශනාවට අනුගත නොවන ඉගැන්වීම් හුරු කළ නිකායක ග‍්‍රන්ථයක් බව පැහැදිලිවම පෙනී යයි.

ඉහත ඉදිරිපත් කර ඇති කරුණු අනුව සලකා බලන විට නිත්‍ය වශයෙන් ම ලංකාවතාර සූත‍්‍රය ඓතිහාසික කරුණු සනාථ කිරීමේදී උපයෝගී කරගත නොහැකි දුර්වල මූලාශ‍්‍රයක් හා හුදු ප‍්‍රබන්ධයක් බවත්, එය ආශ‍්‍රය කරගනිමින් එක් සාහිත්‍ය ග‍්‍රන්ථයක පැනෙන රාවණ නමැති චරිතය තහවුරු කිරීම කිසිදු ආකාරයේ ශාස්ත‍්‍රීය ක‍්‍රියාවක් නොවන බවත් පැහැදිලිවම අප වටහා ගත යුතු කාරණාවකි.

ශකිල රාජකරුණා