බොහෝ දරුවන්ට පාසල ප‍්‍රියජනක ස්ථානයකි. විශේෂයෙන් පාසලේ යහළු යෙහෙළියන් හා කාලය ගෙවීමට දරුවෝ බොහෝ ආසා කරති. තම දරුවා පාසලට ඇලූම් කිරීම දෙමව්පියන්ටද සැනසිලිදායක වේ. නමුත් සමහර අවස්ථාවලදී දරුවන් පාසල් යෑමට දැඩි අකමැත්තක් හා බියක් දක්වනු අපි දැක ඇත්තෙමු. එබදු අවස්ථා දෙමව්පියන්ටද මහත් පීඩාවක් ගෙන දේ. මෙම තත්ත්වය යම් දරුවකු පාසල් යෑම ආරම්භ කළ විට මෙන්ම  පසු කාලයන්හිදීද දැකිය හැක. බොහෝ විට වයස අවුරුදු 5-7 හා 11-14 වයස් කාණ්ඩවල මේ තත්ත්වය දැකිය හැක.

පවුල් පරිසරයෙන් වෙන්වී පාසලට හුරු වීමද සමාජීය වර්ධනයේ එක අවස්ථාවකි. සමහර දරුවන් මෙයට පහසුවෙන් හුරුවන අතර තව පිරිසක් ටික කලකට පසු ක‍්‍රමයෙන් පාසලට හුරු වීම, අන් අය හා සම්බන්ධතා ගොඩනගාගැනීම දැකිය හැකිය. පාසල් ගමන ආරම්භ කළ මුල් කාලයේ දරුවන් තුළ මේ තත්ත්වය දක්නට ලැබෙන්නේ මේ හේතුවෙනි. තව කොටසක් මුලදී පාසලට පහසුවෙන් හැඩගැසුනද, පසු කලෙක පාසලේ අධ්‍යාපනික හා අනෙකුත් අභියෝග ඔහුගේ හැකියාවන්ට වඩා ඉහළ බව හැඟුන විට පාසැල් යෑමට අදිමදි කරනු දැකිය හැක. මෙය නව වසරක ඉහළ පන්තියකට යෑම, ප‍්‍රාථමික අංශයෙන් ද්විතියික අංශයට යෑම හෝ පාසල මාරුකර වැඩි පහසුකම් ඇති හා තරගකාරී පාසලකට යෑම ආදී අවස්ථාවල දැකිය හැක.

දරුවන් පාසල් යෑම ප‍්‍රතික්ෂේප කිරීමට හේතු කිහිපයකි. මූලික වශයෙන් පාසල සම්බන්ධ හේතු, පවුල් පරිසරය සම්බන්ධ හේතු හා දරුවාගේ මානසික තත්ත්වය හා සම්බන්ධ හේතු ලෙස ඒවා වර්ග කළ හැක. බොහෝවිට පාසල් යෑම ප‍්‍රතික්ෂේප කිරීමට මුල් වන පාසල හා පවුල් පරිසරය සම්බන්ධ හේතු අනාවරණය කර ගත හැකි වුවද දරුවාගේ මානසික තත්ත්වය හා සම්බන්ධ හේතු හ`දුනාගැනීම අපහසු විය හැක. එය මෙම තත්ත්වයට ඉක්මනින් නිසි පිළියම් ලබා දීමට ඇති බාධකයකි.

ප‍්‍රාථමික පන්තියක ඉගෙනුම ලබන දරුවකු මෙවැනි හේතු නිසා පාසල් දවස් මගහැරීමෙන් බලපෑම් එල්ල වන්නේ අධ්‍යාපනයට පමණක් නොවේ. එය ඔහුගේ හෝ ඇයගේ ජීවන කුසලතා සංවර්ධනයටද අන්තර් සම්බන්ධතාවලටද ඍණාත්මක ලෙස බල පායි. ඉහළ පන්තිවලදී මෙසේ පාසල් යෑම නිතර අතපසු කිරීමෙන් දීර්ඝ කාලීනව බලපෑ හැකි අධ්‍යාපන දුර්වලතා හා පවුලේ ගැටලූද ඇති විය හැක.

සාමාන්‍යයෙන් මේ තත්ත්වය ආරම්භ වන්නේ අසනීපයක්, දිග නිවාඩුවක් හෝ පාසල මාරු කිරීම වැනි හේතුවක් මත දරුවා කෙටි කලක් පාසල් නොයෑමෙන් පසුවය. එසේම මානසික පීඩාවකට පත්විය හැකි කිසියම් අවස්ථාවකින් (උදා.: සමීප අයෙකුගේ මරණයක්, දෙමාපියන්  වෙන්වීම, පවුලේ අයෙකුගේ හදිසි අසනීපයක්, පදිංචිය වෙනස් කිරීම* පසුවද මේ තත්ත්වය උද්ගත විය හැක. බොහෝවිට පාසලට යෑමට සූදානම් විය යුතු වේලාව වනවිට හිසරදය, බඬේ කැක්කුම වැනි කායික රෝග ලක්ෂණ ගැන දරුවා පැවසීමට පටන් ගනියි.

එසේ නැතහොත් සූදානම් වීමට දැඩි අකමැත්තක් දක්වයි. නමුත් නිවසේ සිටීමට ඉඩ දුන් විට මෙම ලක්ෂණ පහව යයි. එසේ නැතහොත් අමාරුවෙන් හෝ පාසලට යැවූ පසු ටික වෙලාවකින් සන්සුන් වේ.

මෙම තත්ත්වයට මුල්වන පාසල සම්බන්ධ හේතු අතර අධ්‍යාපනික ගැටලූ, ගුරුවරුන්ගෙන් දැඩි කායික ද`ඩුවම් හා මානසික පීඩා ලැබීම, අනෙක් ළමුන්ගෙන් එල්ල වන අනවශ්‍ය විහිළු හා පීඩා, පාසලේ කිසියම් ස්ථානයකට / සිද්ධියකට ඇති බිය, යම් විෂයකට ඇති අකැමැත්ත, පාසල් ගමන අතරමග ඇති බියජනක දෑ, යහළුවන් සමග ඇති වන ගැටලූ ආදිය ප‍්‍රධාන වේ. එසේම දරුවාට පැවසිය නොහැකි කායික හෝ මානසික අපචාර ද මීට හේතු විය හැක.

අවධානය රඳවා ගැනීමේ අපහසුව, මූලික අධ්‍යාපන කුසලතා වන ලිවීමේ, කියවීමේ හා ගණිත සංකල්ප අවබෝධ කර ගැනීමේ ගැටලූ ආදිය නිසා පන්තියේ වැඩ දුර්වල වීම හේතුවෙන් පාසල් යෑම ප‍්‍රතික්ෂේප කිරීම ද අප බොහෝ විට දැක ඇත. දරුවාට ස්වාධීනව තමාගේ කටයුතු කරගත නොහැකි වීම, පවුල් පරිසරයේ ගැටලූ, පවුලේ සාමාජිකයින් අතර හොඳ සම්බන්ධතා නොතිබීම, මව අධික ආතතියෙන් පෙලීම, දරුවන් හදාවඩාගැනීමේ නිවැරදි ක‍්‍රම අනුගමනය නොකිරීම ආදියද මීට හේතු විය හැක.

පාසල ප‍්‍රතික්ෂේප කිරීමට මුල් වන සමහර හේතු පැහැදිලිව හ`දුනා ගත හැකි අතර ඒවාට පිළියම් යෙදීම පහසුය. නමුත් සුළු ප‍්‍රතිශතයක මෙම තත්ත්වය දිගින් දිගටම පවතින අතර ඊට බලපාන හේතු හඳුනාගැනීමද අපහසු විය හැක. දරුවා තුල පවතින කාංසාව (්බංසැඑහ* ආශ‍්‍රිත තත්ත්වයන් මීට බලපෑ හැක. පාසල් යාම ප‍්‍රතික්ෂේප කරන දරුවන්ගෙන් 2%-5% අතර පිරිසකගේ මෙම තත්ත්වයන් දක්නා ලැබේ.

මීට මූලික හේතු වන්නේ අන් අය හා කතා කිරීමේ හා පන්තිය ඉදිරියේ කථා කිරීමේ බිය, තමාට පාලනය කරගත නොහැකි කරදරකාරී සිතුවිලි දිගින් දිගටම සිතට ඒම, මවට හෝ පවුලේ අයෙකුට දැඩි විපතක් වේ යයි ඇති වන බිය ආදියයි. මේ ගැටලූකාරී සිතුවිලි සමග කාංසාවේ ශාරීරික ලක්ෂණ වන හදවත වේගයෙන් ගැහීම, දාඩිය දැමීම , වෙව්ලීම, හුස්ම හිරවීම, පපුව තදවීම ආදියද දරුවාට දැනෙන්නට පටන් ගනී. කුඩා දරුවන්ට මෙබ`දු දෑ නිවැරදිව ප‍්‍රකාශ කළ නොහැකි බැවින්  ඔවුහු පාසල් යෑම ප‍්‍රතික්ෂේප කරති. එබැවින් පාසල ප‍්‍රතික්ෂේප කිරීම අපට නොපෙනෙන ගැටලූවක මතුපිටට පෙනෙන ස්වභාවය වීමටද ඉඩ ඇත. මීට අමතරව දිගින් දිගටම හැ`ඞීම, මවගෙන් වෙන් කිරීමේ අපහසුව, අධික කෝපය, අන් අයට කායිකව හිංසා කිරීම, පාසල් වැඩට අවධානය නොදීම, අන් අයගෙන් හුදකලා වීම ආදී ලක්ෂණද දක්නට ලැබේ.

මේ තත්ත්වයට විස`දුම් සෙවීමේදී පාසලෙන් උදවු ලබා ගැනීම වැදගත් වේ. දරුවා පාසල් යෑමට අකමැති බව පෙනේ නම් මුල් අවස්ථාවේම ඊට බලපාන හේතු සොයා බලන්න. මෙබ`දු තත්වයක් ඇති වූ විට එය දරුවාගේ මුරණ්ඩුකම යයි සිතා දෙමාපියන් කෝපයට පත් වනුද ද`ඩුවම් කරනුද දක්නට ලැබෙන මුත් එය අනුමත කළ නොහැක.

දෙමව්පියන්ගේ වගකීම වන්නේ දරුවා අන් අය  ඉදිරියේ තව දුරටත් අපහසුතාවට පත් නොකර ඔහුගේ හෝ ඇයගේ ගැටලූව විසඳාගැනීමට උදවු වීමයි. දෙමව්පියන් තම ආවේග පාලනය කරගෙන සන්සුන් වීමත් ඉතා වැදගත් වේ. දෙමව්පියන් නොසන්සුන් හා කලබලකාරී වීම දරුවාගේ ආතතිය තවත් වැඩි වීමට හේතු විය හැක.
Untitled-2
පාසල් යෑම ප‍්‍රතික්ෂේප කිරීමට හේතුව දරුවාටම විසඳා ගත හැකි දෙයක් සේ පෙනේ නම් එය විසඳාගත හැකි මග පෙන්වන්න. එය අධ්‍යාපනික ගැටලූවක් නම් ගුරුවරුන්ගේ සහය ලබා ගෙන අමතර උදවු ලබා දෙන්න.

පාසල් යෑමෙන් ලැබෙන වාසි/ සතුටුදායක අවස්ථා ගැන විවෘතව කතා කරන්න. දරුවා  පාසල් නොයා නිවසේ නැවතුන විට රුපවාහිනිය, වීඩියෝ  ක‍්‍රීඩා වැනි ඔහු ප‍්‍රිය කරන දෙයින් ඈත් කරන්න. පාසල් නොයන දින ගණන හැකි තාක් අවම කර ගැනීම වැදගත් වේ.

දරුවා පාසලේදී අන් අයගේ පීඩාවලට ලක් වන බව දැනේ නම් ඊට වහා පියවර ගන්න. පාසලේ අදාළ නිලධාරීන් සමග කතා කරන්න. එසේම දරුවාට යහළුවන් ඇති කරගැනීමට හා ආත්ම ශක්තිය දියුණු කර ගැනීමට උදවු කරන්න.

දරුවාගේ ගැටලූවට හේතුව පවුල් පරිසරයේ අසමබරතාව බව පෙනේ නම් අවශ්‍ය උපදෙස් ලබා ගෙන එය විසඳාගන්න.
මෙම ගැටලූව පැහැදිලි හේතුවක් නොමැතිව දිගින් දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුය. ඊට හේතුව ඉහත සදහන් කළ පරිදි දරුවාට විස්තර කළ නොහැකි කාංසාව ආශ‍්‍රිත රෝගී තත්ත්වයක් ඊට මුල් විය හැකි බැවිනි.