පිට පිට ලැබූ දරුණු පරාජයන් හමුවේ ආරම්භ වූ පාකිස්තාන ටෙස්ට් සංචාරයත් සමග ශ්‍රී ලංකාවට යම් අස්වැසිල්ලක් ලැබිමට හැකි වුව ද එදින තරගාවලිය ආරම්භ වීමත් සමගින් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුබෑමට ලක්ව ඇත. පසුගිය දා අවසන් වූ  ඉන්දු ශ්‍රී ලංකා ක්‍රීඩා තරගාවලියේ ලැබූ දරුණු පරජයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටුණේ ද යන්න කාටත් සැක සංකා මතුවුවිය. නමුත් එකී අමිහිරි මතකයන් පසෙකලා පාකිස්තාන සංචාරය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ දොරටුව විවෘත කළේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අමිහිරි මතකයන් අමතක කරමිනි.

පසුගිය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිත කිහිපය තුළ දීම කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළය සඳහා ක්‍රීඩා කරන ලද්දේ සාර්ථක පිතිකරුවන් ද යන්න සැක සහිතය. කණ්ඩායමේ විශ්වාසය ගොඩනැගීමට නම් ආරම්භක පිතිකරු යුගළයකින් කණ්ඩායමට ලැබෙන අස්වැසිල්ල කොතෙක් ද යන්න සෙසු රටවල් හා සැසඳීමේදී මනාව විද්‍යාමාන වෙයි. ආරම්භක පිතිකරුවන් යුගළයක  කාර්යභාරය වන්නේ සාර්ථකව ඉනිම ආරම්භ කරමින් පසුපෙළ ක්‍රීඩකයන්ට පීඩනයකින් තොරව ලකුණු අතරට පිවිසීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සලසා දීමයි.

මෑතකාලීන ශ්‍රී ලංකා කණ්ඩායමේ අරම්භක පිතිකරුවන් සාර්ථක වූවා නම් ඒ කලාතුරකිනි. අප මුහුණ දුන් තරඟ දෙස බලන විට එය මැනවින් තහවුරු වේ. නමුත් ආරම්භ පිතිකරුවකු වශයෙන් වර්තමානය වන විට දිමුත් කරුණාරත්නගේ සිය ආරම්භය හොඳින් තිබෙන බව පෙනේ. නමුත් ඔහු හා සාර්ථක සබඳතාවක් ගොඩනැගීමට අනිත් අන්තයට සාර්ථක පිතිකරුවකුගේ ඇබෑර්තුව තවමත් සම්පූර්ණ වී නැත.  අප අවධානය යොමුකළ යුතු කරුණ ඇත්තේ එතැනය. නමුත් මේ වනතුරුත් ඊට සාර්ථක පිළිතුරක් අප දකින්නේ නැත.

මේ රික්තය පුරවා ගත හැකි මුහුණු කිහිපයක් අප මතකයට නැගේ. ඉන් වඩාත් ඉදිරියෙන් සිටින මුහුණ ලෙස තරංග පරණවිතාන නම් කළ හැකිය.

මේ වන විට පළමු පෙළ ලකුණු 13,000කට ආසන්නව ලබා සිටින තරංග පරණවිතාන පසුගිය වසර ගණනාව තුළදී පළමු පෙළ තරග හොඳින් ක්‍රීඩා කර ඇති බව පෙනේ. තේරීම් කමිටුව දිගින් දිගටම ක්‍රීඩකයන් ආදේශ කර බැලුවද එය සාර්ථක නොවීය. නැවතත් පරණවිතානගේ මුහුණ මතුවන්නේ ඒ නිසාය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති පරණවිතාන තරග 32 ක් තුළ ඉනිම 60 කදී ලකුණු 1792ක් ලබා සිටිනුයේ 32.58ක සාමාන්‍යයක් ද රඳවා ගනිමිනි. එයට ශතක දෙකක් හා අර්ධ ශතක 11ක් ඇතුළත්ව ඇත.

එමෙන්ම පළමු පෙළ තරග 192කට ක්‍රීඩා කර ඇති තරංග පරණවිතාන ඉනිම් 316 කදී ලකුණු 12,992ක පමණ ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ 45.58ක සාමාන්‍යයක් ද රඳවා ගනිමිනි. එයට ශතක 35 ක් සහ අර්ධ ශතක 58 ක් ඇතුළත් ව ඇත. එයට ද්විත්ව ශතක 5ක් ඇතුළත්වී තිබිම ද විශේෂ කරුණක් වන්නේ  පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ලංකාව තුළ වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක් ලබා සිටින එකම ක්‍රීඩකයා ඔහු නිසාය.

සමීර ගොඩපිටිය