පාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පසුබෑම පිළිබඳව වඩාත් අවධානය යොමු කරන ක්‍රිකට් තේරීම් කමිටුව හදිසියේම නැවතත් සධීර සමරවික්‍රම අබුඩාබි නුවරට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

ටෙස්ට් සංචිතයට නම්වූ 22 හැවිරිදි සධීර සමරවික්‍රම ඩුබායිහි පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් වරම් ලබමින් ලකුණු අතරට හොඳින් ප්‍රවේශ වූ අතර, ඔහු ටෙස්ට් තරගාවලියෙන් පසුව පෙරළා නැවත පැමිණියේ ශ්‍රී ලංකා ‘ඒ’ පි‍ලේ කොදෙව් සංචාරය හා එක්වීමටය. කෙසේ වුවද ඔහුට කොදෙව් දූපත් බලා යෑමට වීසා ලැබිමේ ප්‍රමාදයක් නිසා කොදෙව් සංචාරය යෑමට නොහැකි වූ අතර, දැන් ඔහු නැවතත් ශ්‍රී ලංකා එක්දින පිලට එක් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ පෙර පෙළ පිතිකරුවන්ගේ පසුබෑමට විකල්පයක් ලෙසය.

සධීර සමරවික්‍රම ක්‍රීඩා කරනු ලැබූ ඩුබායි ටෙස්ට් තරගයේදී ප්‍රථම ඉනිමේ ලකුණු 38ක්ද, දෙවැනි ඉනිමේ ලකුණු 13ක්ද ලබාගත්තේ අංක තුන පිතිකරු ලෙස පිටියට අවතීර්ණ වෙමිනි.

එක්දින පිටියේදී පෙර පෙළ පිතිකරුවකු ලෙස දක්ෂතා අතර සිටින සමරවික්‍රම ශ්‍රී ලංකා සුපිරි පළාත් සීමිත ඕවර තරගාවලියේදී ගාල්ල පිලට ක්‍රීඩා කරමින් තරග 7 තුළ ලකුණු 343ක් ලබා එයට ශතක 2ක් එක් කරමින් දක්ෂතම පිතිකරු ලෙස සම්මාන දිනූ අතර, සාමාන්‍ය 49.00 ලෙස පවත්වා ගැනීම කැපී පෙනේ.

කෙසේ වුවත් සමරවික්‍රම එක්දින පිලට හදිසියේ කැඳවීම් ලැබුණද ඊයේ (18) තෙවැනි තරගයට ඔහුට අවස්ථාව නොලැබුණද සාජාහි 20-23දා පැවැත්වෙන සිව්වැනි හා පස්වැනි තරගවලට අවකාශ ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ වනවිට එක්දින පි‍ලේ ශ්‍රී ලංකා පිලට වැඩිපුර වමත් පිතිකරුවන් සිටීමත් ඔවුන් පිටදඟ පන්දු යවන්නන්ට දක්වන දුර්වලතාවත් නිසා දකුණත් පිතිකරුවකු ලෙස සධීර සමරවික්‍රම කෙරෙහි තේරීම් කමිටුව වැඩි අවධානය යොමුකොට ඇත.

මේ අතර ඕවර විස්ස-20 පාකිස්තානු තරගාවලියේ 29දා පැවැත්වෙන ලාහෝර් තරගයට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කිරීම නිසා විස්ස-20 ශ්‍රී ලංකා පිල තේරීමද අවධානයට යොමුව ඇත්තේ ආරක්ෂක තත්ත්වය මත නායක උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් මෙන්ම ලසිත් මාලිංගද ලාහෝර් තරගයට යෑමට අකමැත්ත පළ කිරීම නිසාය.

ක්‍රිකට් ආයතන සභාපති පවසා සිටියේ ලාහෝර් තරගයට පමණක් වෙනම කණ්ඩායමක් නම් නොකරන බවත් නම් කරන කණ්ඩායම විස්ස-20 තරග තුනටම අදාළ වන බවත්ය.

අනාවරණය වන පරිදි කුසල් ජනිත් පෙරේරාට විස්ස-20 පි‍ලේ නායකත්වය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව බලා ලබාදීමට තීරණය වී තිබුණද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් කුසල් ජනිත් පෙරේරා අසමත් වී ඇති නිසා නව නායකයකු ගැන සැලකිල්ලට ගනු ලබන බවයි.

මෙහිදී තිසර පෙරේරාට නායකත්වය හිමිවනු ඇතැයි විශ්වාසදායක ආරංචිවලින් හෙළිවුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථිරව මේ වනවිට කිසිවක් ප්‍රකාශ කොට නැත.

කෙසේ වුවත් ක්‍රීඩකයන් 22ක් 17දා සංචිතයට ඇතුළත් කොට සිකුරාදා (20) 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්ස-20 පිල නම් කිරීමට යෝජිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටී.

ධම්මික රත්නවීර