හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ගිනිගත්හේන නගරයට නුදුරින් රම්පාදෙණිය අසල දී මාර්ගයෙන් ඉවතට පැන මීටර් 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙක් බරපතළ ලෙස තුවාල ලබා වටවල දිසා මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (18) පාන්දර 3.00ට පමණ සිදු වී තිබෙන එම අනතුරෙන් තුවාල ලබා තිබෙන්නේ එම රථයේ රියැදුරු තලවාකැ‍ලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකි. කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතු ඔවුන් එම අනතුරට මුහුණ පා තිබෙන්නේ දීපාවලි උත්සවය වෙනුවෙන් තම ගම් ප්‍රදේශය බලා යමින් සිටියදීය. එම අනතුරෙන් ත්‍රිරෝද රථයට ද බරපතළ හානි සිදුවී තිබේ.

ගිනිගත්හේන ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතා ඇතුළු එම ‍පොලිස් රථවාහන අංශයේ සැරයන් (21298) ජෝජ් හා කොස්තාපල්වරු වන ලියනගේ හා පෙරේරා (50728) යන නිලධාරීහු එම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

උදිත ඉෂාන් – ගිනිගත්හේන විශේෂ