පාසල් ළමයින් ප්‍රවාහනය කරන බසයක ගැටීමෙන් පාසල් සිසුවකු බරපතළ තුවාල ලබා බද්දේගම දිසා රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ බද්දේගම අගලිය ප්‍රදේශයේ පදිංචි කිරිබතාවිල විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්.එච්. නිශාන් කුමාර නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි. අනතුරින් තුවාල ලැබූ සිසුවා බද්දේගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇත. සිසුවාගේ තත්ත්වය බරපතළ බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ බස් රථය පාසල් ළමයින් පිරිසක් රැගෙන බද්දේගම දෙසට  ධාවනය කරමින් සිට ඇත. තුවාල ද සිසුවා සිය නිවසේ සිට පාසලට පැමිණෙමින් සිටිය දී අනතුරට ලක් වී තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු බද්දේගම ‍පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. එම රියැදුරා පෙරේදා (17) බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්නැයි බද්දේගම ප්‍රධාන මහෙස්තාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය නියෝග කළාය.

බද්දේගම ‍පොලිසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක වසන්ත දිසානායක මහතාගේ උපදෙස් මත බද්දේගම ‍පොලිසියේ රථවාහන අංශයේ නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

ඕෂධ කමලනාථ – බද්දේගම