කාලයක් තිස්සේ සිදුකරගෙන ගිය කේරළ ගංජා ජාවාරමක් හෙළිදරව් කරගත් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු වත්තල, පල්ලිය පාර ප්‍රදේශයේදී පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලෙයිමන්නාරම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන 56 හැවිරිදි තිරවියම් රාජේන්ද්‍රම් නොහොත් රාජා නමැති අයකු සහ කොළොන්නාව, මෙගොඩ කොළොන්නාව පාර පදිංචි 35 හැවිරිදි මොහොමඩ් සල්මාන් නමැති අයෙකි.

තිරවියම් රාජේන්ද්‍රම් නමැති අය මීගමුව, කනත්ත පාරේ තාවකාලික පදිංචිකරුවකු වන අතර, මොහොමඩ් සල්මාන් නමැති අය කොළඹ 09, දෙමටගොඩ ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවෙකි.

කේරළ ගංජා කිලෝ 137 ග්‍රෑම් 228 ක් පාර්සල් 65 කට සකස් කර පෙට්ටි හතක බහා පී.ඩී. 9860 දරන කුඩා වෑන් රථයකින් කිලිනොච්චියේ සිට කොළඹ බලා රැගෙන එමින් සිටියදී ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ උප ‍පොලිස් පරීක්ෂක උදාර චතුරංග මහතාට ලද පුද්ගලික තොරතුරකට අනුව වත්තල, පල්ලිය පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කේරළ ගංජා මුහුදු මාර්ගය ඔස්සේ හොර රහසේ යාපනයට ගෙනැවිත් මෙලෙස බෙදාහරින බව සැකකරුවන් දෙදෙනා පා‍පොච්චාරණය කර ඇත. මෙම ජාවාරම ඉන්දියාවේ බන්ධනාගාරයක සිටින රැඳවියකු සහ මෙරට බන්ධනාගාරයක සිටින රැඳවියකු දුරකථන ඔස්සේ මෙහෙයවන බවද අනාවරණය වී තිබේ.

මෙම වැටලීම ‍පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය කාර්යංශය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන්ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය කාර්යංශය භාර නියෝජ්‍ය ‍පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ උප ‍පොලිස් පරීක්ෂක උදාර චතුරංග, ‍පොලිස් සැරයන් 15819 ජයතිලක, ‍පොලිස් කොස්තාපල්වරුන් වන 70731 වීරසිංහ, 69351 ජයරත්න, 38719 තිලක්, 22369 ප්‍රියන්ත, 1466 ධනුෂ්ක යන නිලධාරීන් විසින් සිදුකරන ලදි.

සාලිය කුමාර ගුණසේකර

Untitled-3