ශ්‍රීපාද හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට උඩමළුව දක්වා වූ මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ කුණු කන්දක් නායගොස් ඇති බව නල්ලතන්නිය ‍පොලිසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක අනිල් ජයසිංහ මහතා පැවසීය.

පසුගිය දිනවල ශ්‍රීපාද උඩමළුව ප්‍රදේශයට අඛණ්ඩව ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගම සිව් දිනකට ප්‍රථම එම කුණු කන්ද නාය ගොස් ඇති බවද ස්ථානාධිපතිවරයා පැවසීය. ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් විසින් උඩමළුව ප්‍රදේශයේ මුදාහැර තිබූ අපද්‍රව්‍ය පහළට රැගෙන ඒම සඳහා එක්රැස් කර තිබූ කුණු කන්දක් මෙසේ නාය ගොස් ඇත. මෙම නායයෑමෙන් ශ්‍රීපාද නල්ලතන්නිය මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ මාර්ගයේ මීටර් පහළොවක පමණ කොටසක් අවහිර වී ඇති බවද ‍පොලිසිය සඳහන් කරයි.

ශ්‍රීපාද උඩමළුවේ එක්රැස්වී තිබූ කැළි කසළ ශ්‍රමදානයක් මගින් පහළට ගෙන ඒමට සැලසුම් කර තිබුණද පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩවම ශ්‍රීපාද උඩමළුව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමගම එය සිදු කිරීමට නොහැකිවූ බව ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පැල්මඩුල්ල රජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ පැවසූය.

මේ දිනවල ශ්‍රීපාද අවාරය නිසා එම කුණු කන්ද නායයෑමෙන් කිසිවකුටත් බාධාවක් නොවන අතර එසේ මාර්ගයට පැමිණ ඇති කැළි කසළ සහ ශ්‍රීපාද මළුවේ ඉතිරිව තිබෙන කැළිකසළ ඉවත් කිරීමේ ශ්‍රමදානයක් මෙම 21දා ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් හා ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව සිදුකරන බව ශ්‍රීපාදස්ථානාධිපති හිමියෝ පැවසූහ.