වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනය 34 වැනි වරට සංවිධානය කරන වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් 20 සිට 22 දක්වා තෙදිනක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවරත් මෙම තරගාවලියට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස දායකත්වය ලබාදී ඇති අතර හැටන් නැෂනල් බැංකුව, ජනශක්ති, එන්.ඩී.බි. හා ශාරා ටුවර්ස් යන ආයතනද අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටිති.

ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 34 දෙනකුද ඇතුළුව මෙවර මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට ආසන්න පිරිසක් සහභාගි වෙති. ඔවුන් සහභාගි වන්නේ වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනයට අනුබද්ධිත ආයතන 53ක් නියෝජනය කරමිනි.

තරගාවලිය චැම්පියන් ෂිප් හා ආධුනික වශයෙන් කොටස් දෙකකින් සමන්විතව සංවිධානය කර ඇත. ආධුනික තරගාවලිය අවුරුදු 30, 35, 40, 45, 50, 55 යන වයස් කාණ්ඩ හය යටතේ පිරිමි හා කාන්තා වශයෙන් පැවැත්වෙන අතර ඊට සහභාගි විය හැක්කේ ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩා තරගාවලියකදී මුල් ස්ථාන තුනෙන් එකක් දිනා නැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටය.

ජයග්‍රාහී කණ්ඩායම තෝරාගනු ලබන්නේ ලබාගන්නා ලකුණු ප්‍රමාණය සලකා බැලීමෙනි. එහිදී කේවල ඉසව් සඳහා පළමු ස්ථානයට ලකුණු 5ක්, දෙවැනි ස්ථානයට ලකුණු 3ක් හා තෙවැනි ස්ථානයට එක ලකුණක් වශයෙන්ද සහාය ධාවන ඉසව් සඳහා පළමු ස්ථානයට ලකුණු 07ක්, දෙවැනි ස්ථානයට ලකුණු 05ක් හා තෙවැනි ස්ථානයට ලකුණු 03ක් වශයෙන් ප්‍රදානය කෙරෙයි.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කරන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ජංගම දුරකථන පැකේජයක්ද ලබාදීමට තීරණය කර ඇත. මීට අමතරව අභියෝග කුසලාන 36ක්ද ප්‍රදානය කිරීමට නියමිතය.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ජී.එල්.එස්. පෙරේරා හා එච්.ඩබ්ලිව්. නිමල්සිරි යන උප සභාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේය.

පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදී ද ක්‍රීඩා සවිය වැඩසටහන යටතේ ආර්ථික අපහසුතා ඇති දක්ෂ පාසල් මලල ක්‍රීඩකයකුට හා ක්‍රීඩිකාවකට උපකාර කිරීමටද වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර ඇත.

මේ අතර පසුගිය වසරේ පැවැති 33 වැනි තරගාවලියේදී නව වාර්තා 35ක් බිහිවූ අතර, ප්‍රසාද ලකුණු 422ක් ලබාගත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමස්ත ශූරතාව දිනාගෙන තිබිණි.

සීවලී එදිරිවීර

Untitled-11