කොළඹ ටොරින්ටන්හි කෘත්‍රිම දැල්පන්දු පිටියේදී පසුගියදා නිමාවට පත්වූ කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමය සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ දැල්පන්දු තරගාවලියේ ඒ හා බි යන කාණ්ඩ දෙකේම සමස්ත ශූරතා දිනාගන්නට දෙහිවල පේ‍රස්බිටීරියන් ක්‍රීඩා සමාජය සමත් වී තිබිණි.

කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ සභාපතිනි යැෂ්මින් ධර්මරත්න මහත්මිය ඇතුළු නිලධාරී මණ්ඩලය විසින් මහත් කැපවීමෙන් සංවිධානය කළ මෙම තරගාවලියට කණ්ඩායම් 33ක් සහභාගි වීම කැපී පෙනුණි.

තරගාවලියේ සමාරම්භක උත්සවය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් හා බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ සභාපතිනි සන්ධ්‍යා රාජපක්ෂ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහකාර අධිකාරී චන්දන ඒකනායක. ක්‍රවුන් රෝයල් හෝල්ඩින්ග්ස් ආයතනයේ අධිපති අජිත් කාන්ගහආරච්චි හා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ උප සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා යන ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැති අතර ත්‍යාග ප්‍රදානෝත්සවය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබිය.

තරග ප්‍රතිඵල
‘ඒ’ කාණ්ඩය – ශූරතාව-පේ‍රස්බිටීරියන් ක්‍රීඩා සමාජය, අනු ශූරතාව-ටොරින්ටන් ක්‍රීඩා සමාජය, තෙවැනි ස්ථානය-කොතලාවල ආරක්ෂක ඇකඩමිය හා ට්‍රැක් මාස්ටර් ක්‍රීඩා සමාජය.

‘බි’ කාණ්ඩය – ශූරතාව-පේ‍රස්බිටීරියන් ක්‍රීඩා සමාජය, අනු ශූරතාව-ගේට්වේ විදුහල් ක්‍රීඩා සමාජය, තෙවැනි ස්ථානය-සුජාතා විදුහල් ක්‍රීඩා සමාජය හා ටොරින්ටන් ක්‍රීඩා සමාජය. අවුරුදු 15න් පහළ – ශූරතාව-මියුසියස් විදුහල, අනු ශූරතාව-කොට්ටාව ධර්මපාල විදුහල, තෙවැනි ස්ථානය-පේ‍රස්බිටීරියන් විදුහල. ප්‍රවීණ – ශූරතාව-කීප් ෆිට් ක්‍රීඩා සමාජය, අනු ශූරතාව-ටොරින්ටන් ක්‍රීඩා සමාජය, තෙවැනි ස්ථානය-ඉසුරුපාය ක්‍රීඩා සමාජය

සීවලී එදිරිවීර