වේදිකාවට පෙම් බඳින ඔහු ටෙලි නාට්‍ය හරහා නිතර දක්නට නොලැබෙන මුහුණක්. නමින් තුමිඳු දොඩම්තැන්න වන ඔහු ගැන මෙවර කතාබහට එකතු කරගන්න හිතුවේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘කූඹියෝ’ ටෙලි නාට්‍යය නිසයි.


* කාලෙකට පස්සෙ නේද ඔබ රූපවාහිනියෙන් දක්නට ලැබෙන්නේ?
ඔව්. බොහෝ දෙනා මේ දවස්වල මාව දකින්නේ කූඹියෝ හරහා. අවුරුදු දෙකකට කලින් තමයි මෙහි රූගත කිරීම් කළේ. කූඹියෝ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ලක්මාල් ධර්මරත්න. ඒක ඇත්තටම හරි අපූරු නිර්මාණයක්. කාලෙකට පස්සේ දකින අපූරු නිර්මාණයක් තමයි කූඹියෝ කියන්නේ. ලංකාවේ ටෙලි නාට්‍ය එපාවෙලා තියෙන අයට කූඹියෝ හොඳ නිර්මාණයක් වේවි.

* කූඹියෝහි ඔබේ චරිතය ගැන කතා කළොත්?
ජෙහාන් කියන චරිතය තමයි මෙහි කරන්නේ. සාමාන්‍ය ජීවිතයේ දක්නට නොලැබෙන නමුත් අප සමාජයේ ජීවත්වන පුද්ගලයෙක් තමයි ජෙහාන් කියන්නේ. ගේම්කාරයෙක්. සාමාන්‍ය මිනිස්සුන්ට ඔහු හොරෙක්. ගමෙන් කොළඹට ඇවිත් කොළඹ ජීවිතේට හුරුවෙන චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ.

* ඔබ කූඹියෝ පිටපත මුලින්ම ප්‍රතික්ෂේප කරනවා නේද?
ඔව්, කූඹියෝහි පිටපත ලක්මාල් දෙද්දිත් මම කීවේ මට පිටපතක් දෙන්න එපා ටෙලි නාට්‍යය කරන්න බැහැ කියලා. ඒ පිටපත කියෙව්වම මට තේරුණා ඒක අපූරු නිර්මාණයක් කියලා.

* ඔබ නිර්මාණ හරහා දකින්නේ හරිම අඩුවෙන්. ඒ ඇයි?
මම නිතරම හිතනවා මම කරන්න ඕන මොනවද, කරන්නේ නැත්තේ මොනවද කියලා. ටෙලිවිෂනයේ නිර්මාණ ගැන තෘප්තිමත් වෙන්නෙ නැහැ මම. ඉඳලා හිටලා තමයි හොඳ නිර්මාණ බිහිවෙන්නේ. මම නිතරම පිටපත කියවනවා. අධ්‍යක්ෂවරයා ගැන ගොඩක් උනන්දු වෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් සියලු වැඩ පසෙකලා ඒක මම භාරගන්නවා.

* ඔබට නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද?
මම නිර්මාණයේ සියලු දේ ගැන වැඩි අවධානයක් යොමු කරන නිසා මට කතා කරන්නේ අඩුවෙන්. පහුගිය දිනවල චිත්‍රපට කිහිපයක් කළා. එයින් හයක්ම එන්න තියෙනවා. අවුරුද්දකට එකක් කළොත් හොඳටම ඇති මට. පහුගිය දිනවල නාමල් ජයසිංහගේ ‘සහෝදරයෝ’ නාට්‍යයේ වැඩ කළා. ගොඩක් මහන්සිවෙලා ගොඩක් කාලය අරගෙන පෙර පුහුණුවීම් කරලා කරපු වැඩක් තමයි සහෝදරයෝ කියන්නේ. මම මගේ වැඩ කරන වෙලාවට ගොඩක් වෙලාව ගන්නවා.

* රංගනය හරහා ප්‍රේක්ෂකයන් අතරට යන නිර්මාණවලට විතරද ඔබ දායක වෙන්නේ?
මිනිසුන්ට විඳින්න පුළුවන් හා හරවත් දෙයක් එකතු කරන්න පුළුවන් නිර්මාණවලට විතරයි මම සම්බන්ධ වෙන්නේ. නිර්මාණාත්මක ගුණාත්මක භාවය නැති නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා. පහුගිය කා‍ලේ රජ කතා රැල්ලක් බිහිවුණා. එවැනි කතාවලට මට කතා කළත් ගොඩක් ඒවා මට ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා. සුනිල් ආරියරත්නගේ ‘යශෝධරා’ චිත්‍රපටයට විතරයි මම සම්බන්ධ වුණේ. ඉතිහාස කතා, රජ කතා නිර්මාණය කිරීමට ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ වාණිජ පරමාර්ථ පමණයි.

* ඉතිහාස කතා, රජ කතාවල රංගනයෙන් දායක වීම වෙහෙසකර නැද්ද?
ඕනෑම නිර්මාණ කාර්යයකට සම්බන්ධ වීම වෙහෙසකර දෙයක්. වෙහෙසවෙලා වැඩ කළොත් තමයි අපි සාර්ථක වෙන්නේ. ඒක නිර්මාණවලට පමණක් නොවෙයි අපේ ජීවිතවලටත් අදාළයි. මම දෙයක් කරනවා නම් උපරිමයෙන් මහන්සිවෙලයි වැඩ කරන්නේ. කූඹියෝ කියන නාට්‍යය කරද්දිත් ඉතාම වෙහෙසකර කාලයක් තමයි අපි ගත කළේ. ආත්ම තෘප්තියක් එකතු කරපු වෙහෙසකාරී කාලයක් තමයි ඒ සඳහා ගතවුණේ.

* ටෙලි නාට්‍ය ආපු මුල් කා‍ලේ හොඳ නිර්මාණ ගොඩක් බිහිවුණා. නමුත් වර්තමානයේ ගුණාත්මක නිර්මාණවල අඩුවක් තියෙනවා නේද?
ගොඩක් දෙනා මුදල් කියන දේ අරමුණු කරගෙන තමයි නිර්මාණ කරන්න පෙලඹිලා තියෙන්නේ. මිනිස්සු කල්පනා කරනවා ‍ලේසියෙන්, ලාභෙට විකුණන්න පුළුවන් බඩු මොනවද කියලා. ලාභෙට විකුණන්න පුළුවන් නිර්මාණ හැදුවට ඒවාට වටිනාකමක් හැදෙන්නෙ නැහැ. ඒවා හරියට චයිනීස් ෆෝන් වගේ. ටෙලිවිෂන් නාළිකා බලන්නේ අඩු පිරිවැයකින් බාල දේ විකාශනය කරන්න. ඒ දේත් ලාභය සහ ආදායම අතර ප්‍රශ්නයක්. රසවින්දනය පැත්තෙන් යම් යම් අඩුපාඩු අපේ සමාජයේ තියෙනවා. කූඹියෝ නිර්මාණය රසවින්දනය කරන පිරිස කතා කළහම දැනෙනවා මිනිස්සුන්ට එවැනි නිර්මාණවල අඩුවක් තියෙනවා කියලා.

* වේදිකාවට තමයි ඔබ වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙන්නේ?
මම පටන් ගත්තේ වේදිකාවෙන්. පාසල් යන කාලයේ ඉඳන්ම මම නාට්‍ය නිර්මාණය කළා. තවමත් මම වේදිකාවට කැමතියි. නළුවකුට වේදිකාව කියන්නේ හොඳ පන්නරයක් ලබන්න පුළුවන් තැනක්. තවමත් වේදිකාව වාණිජකරණය වෙලා නැහැ. කලාත්මක නිර්මාණ බිහිවෙන තැනක් තමයි වේදිකාව කියන්නේ. වේදිකාවට හැකියාව තියෙනවා එම නිර්මාණ ඉක්මනින් සමාජගත කරන්න. නමුත් අනෙක් නිර්මාණ කළත් ඒවා විකාශය කරගන්න බැරුව ඇඳ යටන්වල තමයි ඒවා තියෙන්නේ.

* වේදිකාවට නිර්මාණය කරනවා වගේ කැමැත්තක් නැද්ද ඔබේම සිනමාපටයක්, ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න?
එහෙම කැමැත්තක්, ලොකු ආසාවක් තියෙනවා. මම හිතනවා ඒ සඳහා සුදුසු වෙලාවක් ලැබේවි කියලා. සුදුසු නිෂ්පාදකයෙක්, වෙලාවක් ලැබුණු විගස එවැනි නිර්මාණයකට දායක වෙන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

* විදේශ ටෙලි නාට්‍ය මෙරට වැඩි වශයෙන් විකාශනය කිරීම නිසා එය වෘත්තීය රංගනයේ නියැළෙන අයට ගැටලුවක් වෙලා නේද?
ඔව්, වෘත්තීය වශයෙන් නියැළෙන අයට වගේම අපේ රසවින්දනයට කරන්නේ විශාල හානියක්. ‘ඔෂීන්’ විකාශය වෙද්දී කවුරුත් බැන්නෙ නැහැ. එවැනි නිර්මාණවල නිර්මාණාත්මක වටිනාකම් තිබුණා. අද එවැනි නිර්මාණ නැහැ. වෘත්තීය නළු නිළියන්ගේ අවස්ථාව ගිලිහීමට වඩා ඔවුන්ට ඉන්දීය මෙගා නාට්‍යවල ආකෘතියට වැඩ කරන්න වෙලා තියෙනවා.

* විශ්වවිද්‍යාලයේ වැඩත් එක්ක කොහොමද ඔබ රංගනයට වෙලාව වෙන්කර ගන්නේ?
වෘත්තියත් එක්ක මම ගොඩක් කාර්යබහුලයි. ඒ නිසයි අවුරුද්දකට එක නිර්මාණයකට වගේ සහභාගි වෙන්නේ. මට නිවාඩු කා‍ලේ තමයි මම නිර්මාණ භාරගන්නේ. හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ අධ්‍යයන අංශයෙන් හා විශ්වවිද්‍යාල පරිපාලන අංශයෙන් මගේ වැඩවලට ලොකු සහයෝගයක් දෙනවා. නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරයෙක් ලෙස නිර්මාණකරණයේ යෙදීම ගැන ඔවුන් අවබෝධ කරගෙන තියෙනවා.

* වැඩිය නිර්මාණවල දක්නට නොලැබිම ඔබේ ගමනට බාධාවක් නොවේද?
මම හිතන්නේ නැහැ එය බාධාවක් කියලා. මට ඒ ගමන පහසුයි. ඇතැම් නිර්මාණකරුවන් නිතර දකින්නේ නැති මුහුණු හොයාගන්න උත්සාහ කරනවා. නිර්මාණකරුවාට වටිනාකමක් තියෙනවා නිතර දකින්න නොමැති අය දායක කරගැනීමෙන්. එය මට හොඳ වැඩවලට ආරාධනා ලැබිමට හේතුවක් වෙනවා කියලා හිතනවා.

* කොහොමද ඔබේ වැඩවලට ආදරණීය බිරිඳගෙන් ලැබෙන සහයෝගය?
ගොඩක් හොඳ සහයෝගයක් කලණිගෙන් ලැබෙනවා. ඇයට මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මම දායක වෙන නිර්මාණවල අඩුපාඩු කියලා දෙන්නේ ඇයයි. අනෙක් පැත්තෙන් මට නිර්මාණවලට ආරාධනා ලැබුණාම මම ඒ ගැන කතා කරන්නේ කලණි එක්ක.

* කොහොමද ඇයව මුණගැහුණේ?
ඇයව මුණ ගැහෙන්නේ නාට්‍යයක් බලන්න ඇවිල්ලයි. එයා මගේ වේදිකා නාට්‍යයක් බලන්න ආපු වෙලාවෙයි අපි හඳුනා ගන්නේ. මගේ රංගනය පිළිබඳව ඇය වර්ණනා කළා. එයා ඒ වෙද්දි කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් සිටියේ. ඒ වේදිකා නාට්‍යයෙන් හඳුනා ගත්තාට පස්සේ එය ප්‍රේමයක් බවට පත්වුණා. අපේ ප්‍රේමයට කාලයක් ගතවීමත් සමග අපි විවාහ වෙනවා.

තිළිණි කරුණාරත්න

Untitled-41 Untitled-40 q Untitled-38