කරුවලගස්වැව, සියඹලාවැව රක්ෂිතයේ හොර රහසේ ගස් කපා දැව කොටස් රැගෙන යාමට සූදානමින් සිටි පිරිසකට තවත් කණ්ඩායමක් කළ වෙඩි තැබිමකින් ගස් කැපූ දෙදෙනෙකු මියගොස් ඇත.

ඊයේ (12) අලුයම 12.30ත් 1.00ත් අතර කාලයේ දී මෙම වෙඩිතැබිම සිදු වී ඇතැයි කරුවලගස්වැව ‍පොලිසිය සඳහන් කරයි.

රක්ෂිතයේ මායිමේ සිට කිලෝමීටරයක් පමණ ඈතට වන්නට මෙම වෙඩිතැබිම සිදු වී ඇතැයි කරුවලගස්වැව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක විජේරත්න මහතා පැවසීය.

මෙම රක්ෂිතයේ දැව කපා, කොටන් රැගෙන යාමට පිරිසක් සූදානමින් සිටිය දී තවත් කණ්ඩායමක් කැලෑව තුළට පැමිණෙනු දැක ‍පොලිසිය පැමිණ ඇතැයි සැක සිතී සැඟවී ඇත. එහි දී දෙවනුව පැමිණි පිරිස දැව කැපූ පිරිසට වෙඩිතබා ඇත. රක්ෂිත කලාපයේ දඩයමේ පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබන්නට ඇතැයි ‍පොලිසිය සැක කරයි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයින් දෙදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය පුද්ගලයින් දෙදෙනා අවුරුදු 18 සහ 31 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුහු සියඹලාවැව සහ කරුවලගස්වැව ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති. වෙඩි තැබූ පුද්ගලයින් කවුරුන්දැයි අනාවරණය වී නැත.
මේ පිළිබඳ කරුවලගස්වැව ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සාලිය කුමාර ගුණසේකර
සාලියවැව වාර්තාකරු