ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 78 ව්‍යවස්ථාවේ අඩංගු නොමැති දේවල් තමන්ට කිරීමට කිසිම අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ පැවසූවේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ පිරිස ජනාධිපති මන්දිරයේ දී පෙරේදා (11) හමු වූ මොහොතේ දීය.

මේ අවස්ථාවේ දී ජානිපෙ නියෝජිතයන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රටේ පරමාධිපත්‍යය බලය අභියෝගයට ලක්වන බව පෙන්වා දුන් අතර බුදුදහමට ව්‍යවස්ථාව තුළ ඇතිවන අභියෝගය ද පැහැදිලි කළේ ය.

මෙම සියලු පැහැදිලි කිරීම් අවසානයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 78 ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේ දී ජේ.ආර්. ජයවර්ධන මහතා පවා අත නොතැබූ කාරණා වෙනස් කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවයි. එසේම නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ අදහස් පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම අදහස් විමසා ඒ සියලු කාරණා අධ්‍යයනය කොට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.