ලබන සෙනසුරාදා සහ ඉරිදා තුරඟ තරග පිටියේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර තරගාවලියට සහභාගි වන 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල වෙනස්කම් හතරක් සිදුකර ඇත.
මෙම කණ්ඩායම තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයෙනි.

පළපුරුදු සත් සාමාජික රග්බි ක්‍රීඩකයන් වන රිචඩ් ධර්මපාල සහ කවිඳු පෙරේරා නැවත කණ්ඩායමට එක් කර ඇති අතර නවකයින් ලෙස රීසා රෆයිඩීන් හා රොහාන් සිල්වා ද කණ්ඩායමට එක්කර ඇත්තේ චානක චන්දිමාල්, හිරන්ත පෙරේරා, කෙවින් ඩික්සන් හා ආබාධයකට ලක්ව සිටින නවීන් හේනකම්කානම්ගේ වෙනුවටය.

කෙවින් හා නවීන් මෙම තරගාවලියේ මුල් අදියර දෙකේදීම ශ්‍රී ලංකා පිලට එක්ව සිටි ක්‍රීඩකයින්ය.
කවිඳු පෙරේරා ආබාධයකට ලක්ව සිටි බැවින් මෙම ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරට සහභාගි නොවීය. රිචඩ් ධර්මපාලට පළමු අදියර දෙකම අහිමි වී තිබිණි.

මෙවර ශ්‍රී ලංකා ජාතික පිලට එක්වන නවක ක්‍රීඩකයන් දෙදෙනාම 22 හැවිරිදි වියේ පසුවන අතර ‍පොලිස් පිල නියෝජනය කරන රීසා රෆයිඩීන් කිංග්ස්වුඩ් විදුහ‍ලේ ආදි සිසුවකු වන අතර රෙහාන් සිල්වා ඉසිපතන විදුහලින් බිහිවූ දැනට සී.ආර්. පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකි.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල : සුදර්ශන මුතුතන්ත්‍රි, ජේසන් දිසානායක, දනුෂ්ක රන්ජන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සුදම් සූරියආරච්චි, ඔමල්කා ගුණරත්න, කවිඳු පෙරේරා, රිචඩ් ධර්මපාල, තරින්ද රත්වත්තේ, ධනුෂ් දයාන්, රීසා රෆායිඩීන් හා රෙහාන් සිල්වා.

සීවලී එදිරිවීර