ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වඩාත් හොඳින් ක්‍රීඩා කිරීම නිසා ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට හැකිවූ බවත් තරගාවලියේ පිතිකරුවන් ලොකු ඉනිමක් ගොඩනැගීමට අ‍පොහොසත්වීම පරාජයට ප්‍රධාන හේතුවක් වූ බවත් පාකිස්තානු ක්‍රිකට් නායක සර්ෆාස් අහමඩ් පවසයි.

සියලු ගෞරව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිමිවිය යුතුයි. විශේෂයෙන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ලෙස රංගන හේරත් හා දිල්රුවන් පෙරේරා හොඳින් පන්දු යැව්වා. ඒ වගේම අවශ්‍ය වෙලාවට ප්‍රධාන පිතිකරුවන්ගේ කඩුලු වේග පන්දු යවන්නන් විසින් ලබා ගත්තා. මේ තුළ පිතිකරුවන්ගේ පසුබෑම දක්නට ලැබුණ බව පාකිස්තානු නායක තරගාවලියේ පරාජයෙන් පසුව පැවසීය.

අපි හිතුවේ වඩාත් ධනාත්මකව ක්‍රීඩා කිරීමට පමණයි. පිතිකරණයේදී පිතිකරු අන්තයන් මාරු කර ගනිමින් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළා. ඒත් එම අවස්ථාව මගහැරුණා යැයි පැවසූ සර්ෆාස් අහමඩ් ටෙස්ට් තරගාවලියෙන් පසුව එක්දින තරගාවලියට වඩාත් සැලසුම් සහගතව ක්‍රීඩා කිරීමට සැරසෙන බව පැවසුවේය.

වසර 2010 සිට පාකිස්තාන ක්‍රිකට් පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වය සටනින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණේ පාකිස්තානයේ ඇති ආරක්ෂක තත්ත්වය මත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව කිරීමට නොහැකි තත්ත්වයක් මතු වූ බැවිනි. මේ වසර හත තුළ ප්‍රථම වරට ටෙස්ට් තරගාවලියක් පරාජය වීමද ශ්‍රී ලංකාවට එරෙහි වීම කැපී පෙනුණි. වසර 2000දී සනත් ජයසූරිය යටතේ පාකිස්තානයේදී 2-1 ලෙස ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමෙන් පසුව විදෙස් තණතිල්‍ලේ පාකිස්තානයට එරෙහිව වසර 17කට පසු තරගාවලියක් ජය ගැනීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග පහකින් යුත් එක්දින තරගාවලියේ හෙට (සිකුරාදා) ප්‍රථම එක්දින තරගය ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතය.

ධම්මික රත්නවීර