යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා තම සහාය ලබා දීමට නම් ආණ්ඩුව ඉල්ලීම් තුනක් ලබා දිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසා තිබේ. ඒ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, මධ්‍යම ආණ්ඩුව වෙත නැවත පවරා ගත නොහැකි ලෙස පළාත් සභා සඳහා බලය ලබා දීම සහ මුදල් බලතල පළාත් සභා වෙත ලබා දීම එම ඉල්ලීම්ය. මෙවැනි ඉල්ලීම් කිසිදු චකිතයක් නොමැතිව ඉල්ලා සිටීමට හේතු වී ඇත්තේ අපට රටක් ලෙස බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කළ ද සාමකාමී බෙදුම්වාදය පරාජය කළ නොහැකි වූ නිසාය. ත‍්‍රස්තවාදය පරාජය කර උදම් ඇනුවා මිස ත‍්‍රස්තවාදී බෙදුම්වාදය අවුළන සාමකාමී බෙදුම්වාදය මුලිනුපුටා දැමීමට කටයුතු නොකළ නිසාය.

බටහිර යටත්විජිතවාදීන් සිය කොලනිවල පාලන කටයුතු පහසුවෙන් කර ගෙන යාම සඳහා කුප‍්‍රකට බෙදා පාලනය කිරීමේ උපායමාර්ග අනුගමනය කළ බව රහසක් නොවේ. එහි දී සිදු වූයේ කොලනියේ කිසියම් ආගමික හෝ වාර්ගික සුළු පිරිසක් වෙත සුවිශේෂ වරදාන වරප‍්‍රසාද ලබා දීමය. රටේ ප‍්‍රධාන ජාතියට එරෙහිව  සිය පාලන කටයුතු කර ගෙන යාම පිණිස එම සුළු වාර්ගික කණ්ඩායම්වල සහාය ලබා ගැනීමය. අපේ රටේ ඒ සඳහා යොදා ගත්තේ දෙමළ පිරිසය.

එහි ඉතිහාසය 1833 තරම් ඈත කාලය දක්වා ඇදී යයි. ඒ සඳහා උතුරට විශේෂයෙන් යාපනයට හොඳ පාසල් පද්ධතියක් ලබා දුන් අතර ආණ්ඩුවේ ස්වදේශික ඉහළ නිලධාරීන් බහුතරය පමණක් නොව නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු ආදි බොහෝ පිරිස් දෙමළ ජාතිකයන් වූයේ එහි ප‍්‍රතිඵලය ලෙසය.

කෙසේ වුව ද රටට නිදහස ලැබීමත් සමග තමන් සුවිශේෂ කොට ලබා දුන් වරප‍්‍රසාද පනහට පනහ වැනි අසාධාරණ ඉල්ලීම් ඔස්සේ තව දුරටත් රැුක ගැනීමට දෙමළ වර්ගවාදී නායකයන් ගත් උත්සාහය නතර වූයේ සමාජ බෙදුම්වාදය වෙනම රටක් දක්වා දුරදිග ගොසිනි. 1980 දශකයේ උතුරේ ඊළාම් රාජ්‍යයක් සඳහා ප‍්‍රභාකරන් ආයුධ අතට ගන්නේ එදා යටත්විජිතවාදීන් ආරම්භ කළ සමාජ බෙදුම්වාදයේ ක‍්‍රමික ඵලය ලෙසිනි.

රටේ ඇතැයි කී ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුම් ලෙස 1980 අග භාගයේ ඉන්දියාව මැදිහත් වී පිහිටු වූ පළාත් සභා ක‍්‍රමය 2009 කොටි පරාජය කරන තුරු උතුරේ ක‍්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාවක් ලැබුණේ නැත. ඇතැයි කී ප‍්‍රශ්නයට විසඳුම බලය බෙදීම නොවන බව ඉන් තහවුරු වෙයි. සැබවින්ම දෙමළ ජනතාවට සුවිශේෂ ගැටලූවක් රටේ නොමැති අතර සිදුව ඇත්තේ නැති ප‍්‍රශ්නයකට ලබා දුන් බොරු විසඳුම නිසා ජනතාවට සිය බදු මුදලින් මධ්‍යම ආණ්ඩුවට අමතරව තවත් සුදු අලි නව දෙනෙක් නඩත්තු කිරීමට සිදු වීම පමණි.

ජනවාර්ගික පදනමින් පළාත් සභාවලට බලය බෙදිය යුතු යැයි කියන බෙදුම්වාදී බලවේග පෙරළා උතුරු නැගෙනහිර එකතු කළ යුතු යැයි ඉල්ලා සිටීම උත්ප‍්‍රාසජනකය. උතුරේ දෙමළ බහුතරය වුව ද නැගෙනහිර දෙමළ ජනතාව මෙන් ම මුස්ලිම් සිංහල ජනතාව ද විශාල වශයෙන් ජීවත් වෙති. නැගෙනහිර මුස්ලිම් සිංහල ජනතාව එකතු කර සලකා බලන විට එහි ප‍්‍රතිශතය දෙමළ ජනතාවට වඩා වැඩි අතර නැගෙනහිර මුස්ලිම් මෙන්ම සිංහල ජනතාව ද උතුරු පළාත සමග ඒකාබද්ධ වීමට කැමති ද නැත.

එවැනි පසුබිමක සිය ඊනියා දෙමළ නිජබිමේ හතර මායිම් නැවත සලකුණු කිරීමට උතුරු නැගෙනහිර නැවත ඒකාබද්ධ කළ යුතු යැයි ඉල්ලා සිටීම පිළිකුලින් යුතුව බැහැර කළ යුතුය. මේ රටේ කිසිදු බිම් කොටසක් එක් සුවිශේෂ පිරිසකගේ නිජබිම නොවන අතර සමස්ත රට ම සිංහල දෙමළ මුස්ලිම් සියලූ දෙනාගේම නිජබිමය. එහෙයින් උතුරු නැගෙනහිර දෙමළ නිජබිම් මිථ්‍යාව මත පිහිටා එම දෙ පළාත් සිංහල මුස්ලිම් ජනතාවට අහිමි නොකළ යුතු අතර සෙසු පළාත් දෙමළ ජනතාවට ද අහිමි නොකළ යුතුය.

එසේම පසුගිය ශිෂ්‍යත්ව විභාගය සඳහා රටේ දිස්ත‍්‍රික්ක 25 සඳහා ම දෙමළ කඩඉම් ලකුණු නිකුත් වුව ද සිංහල කඩඉම් ලකුණු නිකුත් වූයේ දිස්ත‍්‍රික්ක 22ක් සඳහා පමණක් බව සිහිපත් කළ යුතුය. 15%ක් වන දෙමළ ජනතාවට සමස්ත රටේ ම සිය බසින් ඉගනීමට අයිතිය තහවුරු කර ඇති පසබිමක 74%ක් වන සිංහල ජනතාවට ත‍්‍රස්තවාදය පරාජය කොට වසර ගණනාවක් ගෙවුණ ද එම අයිතිය හිමි නොවීම පිළිබඳ අපි කනගාටු වෙමු.

දෙමළ ත‍්‍රස්තවාදය බෝවීමට පෙර දහස් ගණනක් සිංහලයන් වාසය කළ යාපනයේ සිංහලයන් මහා විද්‍යාලයක් පවා පැවති කිලිනොච්චියේ සහ මඩකලපුවේ සිංහල බසින් ප‍්‍රාථමික අධ්‍යාපනය පවා ලැබීමේ අයිතිය ලබා නොදෙන්නේ දෙමළ වර්ගවාදීන්ය. කොටි උතුරින් පළවා හැරි සිංහල මුස්ලිම් ජනතාවට නැවත සිය උපන් බිමේ පදිංචි වන්නට ඉඩ නොදෙන්නේ මේ වර්ගවාදීන්ය.

එවැනි වර්ගවාදී පිරිසක් අතට ෆෙඩරල් රාජ්‍යයක ප‍්‍රාන්තයකට පවා නොමැති ආකාරයට නැවත පවරා ගත නොහැකි ලෙස බලතල ලබා දීම සහ මුදල් බලතල ලබා දීම වඳුරන්ට ඉනිමං බැඳීමකට එහා ගිය ඉතාම භයානක සෙල්ලමකි. දහස් ගණනක් ජීවිත පූජා කොට දිනා ගත් රට නැවත බන්දේසියක තබා  බෙදුම්වාදයට පූජා කිරීමකි. එහෙයින් එවැනි ද්‍රෝහී ක‍්‍රියාවකට කිසිම පාලකයකුට ජන වරමක් නොමැති බව ද මෙවැනි ඊළාම් යෝජනා නැවත ඉදිරිපත් කළ නොහැකි ලෙස නව නීති පැනවිය යුතු බව ද අපි අවධාරණය කරමු.