තායිලන්තයේ බැංකුවක පරිගණක පද්ධතියට හැකර් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව මෙරටට ඇමෙරිකන් ඩොලර් මිලියන 2.3 ක් එවීමේ සිද්ධියට සම්බන්ධව රහස් ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපති ශලීල මුණසිංහ මහතා කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (11) දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

රහස් ‍පොලිසිය මගින් තායි හැකර්වරුන් විසින් මෙරටට මුදල් එවූ රාජ්‍ය නොවන සංවිධානයකට අයත් බැංකු ගිණුම ඔස්සේ  විමර්ශන අරඹා අත්අඩංගුවට ගත් සී. නම්මුණි නමැති කෝටිපති ව්‍යාපාරිකයා සමග බැංකුවෙන් මුදල් ගැනීමට ගිය චෝදනාවට ශලීල මුණසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට සොයද්දී පෙරේදා (09) පස්වරුවේ නීතිඥවරුන් සමග පැමිණ රහස් ‍පොලිසියට භාර වී තිබිණි. රජයේ බැංකුවක සීසීටීවී කැමරා දර්ශන රහස් ‍පොලිසිය වෙත ලබා ගැනීමෙන් පසුව මෙයට ශලීල මුණසිංහ මහතා සම්බන්ධ වූ බවට අනාවරණය වූ අතර ඒ මොහොතේ බැංකුවෙන් ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 30 කි.

මේ සම්බන්ධව විමර්ශන ඇරඹූ රහස් ‍පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ ශලීල් මුණසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ළඟ ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණක් බව අනාවරණය කර ඇති අතර කෝටිපති ව්‍යාපාරිකයා හා ශලීල මුණසිංහ මහතා බැංකුවෙන් රැගෙන ගිය මිලියන 30 න් රුපියල් ලක්ෂ 258 කට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ රහස් ‍පොලිසිය විමර්ශන අරඹා ඇත.

මෙම දෙදෙනා රැගෙන ගිය මුදලින් රුපියල් මිලියන 4 ක් රහස් ‍පොලිසිය පසුගිය ඉරිදා (08) වන විට සොයාගෙන තිබිණි.

මෙම සැකකරුවන් බැංකුවෙන් ගත් මුදල් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී ජාවාරමට සම්බන්ධ ඉන්දියානු ජාතිකයන් සමග බෙදාගෙන ඇති බවටද තොරතුරු ලැබි ඇත. මෙම බැංකු ගිණුම අයත් රාජ්‍ය නොවන සංවිධානයේ ශලිල මුණසිංහ මහතා ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇති අතර එහි නිලධාරින්ගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.

විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුගේ පුත්‍රයකු වන කෝටිපති ව්‍යාපාරික සී. නම්මුණිගේ තවත් ඥාතියකුවත් මෙම ජාවාරමට අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ශලිල මුණසිංහ මහතා රහස් ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සොයද්දී රැකවරණය දුන් විහාරස්ථානයක හිමි නමක් ගැනද රහස් ‍පොලිසිය විමර්ශන සිදුකරගෙන යයි.

 තිස්ස රවීන්ද්‍ර පෙරේරා