සුළු පිරිසකගේ අවශ්‍යතා ඉටුකරමින් රට ෆෙඩරල් කිරීම සඳහා ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ අදහස් දැක්වීමට ජාතික නිදහස් පෙරමුණ අද (11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, දේශපාලන මණ්ඩල සභිකයන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න, මොහොමඩ් මුසම්මිල් යන අයද එක්වීමට නියමිතය.

යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරුණු දැක්වීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ජනාධිපති නිල නිවසේදී අද (11) සවස 05 ට එම හමුව පැවැත්වීමට නියමිතය. මීට මාසයකට පෙර යෝජිත නව ව්‍යවස්ථාවේ අනතුරු දායක තත්ත්වය සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබිණි. ඒ අනුව මෙම හමුව පැවැත්වෙයි.

මෙම යෝජිත නව ව්‍යවස්ථාව මගින් ඒකීය ශ්‍රී ලංකාවක් ඇතිවේද යන්න සම්බන්ධව ගැටලුවක් ඇති වන නිසා ඒ සම්බන්ධව අදහස් කිරීම මෙහි අරමුණ බව ජනතා නිදහස් පෙරමුණ පවසයි. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ භයානකකම සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ දැනුම්වත් කිරීමට ද ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.

රන්මලී සෝමසිරි