ඊයේ (10) පැවති කැබිනට් හමුවේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේ දී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හා රජයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනකු අතර දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් රිවිරට පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරි වැඩකටයුතු ගැන කිරිඇල්ල අමාත්‍යවරයා කැබිනට්ටුවට කරුණු දැක්වූ අවස්ථාවේ දී පළමුවෙන්ම ඊට එරෙහිව නැගී සිට ඇත්තේ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ය. එහිදී කරුණු හතරක් යටතේ අමාත්‍යවරයා මේ පිළිබඳ දැඩි පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

විශේෂයෙන් මෙම ව්‍යාපෘතිය හරහා දැඩි පරිසර හානියක් සිදුවන බවත්, වාණිජමය ණය ලබා ගැනීම නිසා ඊට අධික ‍පොලියක් ගෙවිය යුතු බවත් පෙන්වා දී ඇති ඇමැතිවරයා මෙම ඉදිකිරීම තුළ බරපතළ වංචා හා දූෂණ සිදුවන බවටද කරුණු ඉදිරිපත්කොට තිබේ.

අනතුරුව චම්පික අමාත්‍යවරයාගේ අදහස අනුමත කරමින් කතාකොට ඇති ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ යුගයට වඩා වැඩි කිලෝ මීටර් ප්‍රමාණයක අධිවේගී මාර්ග ඉදිකිරීමට මේ රජය පියවර ගෙන ඇතත් 2018 වන විට ‍පොරොන්දු වූ පරිදි ඒවා නිම කිරීමට දැන් පවතින තත්ත්වය යටතේ නොහැකි බවත්ය.

එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය තුළ විශාල දූෂණයක් සිදුවන බව රටේ ජනතාව අතර කතාබහට ලක්වන බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

අනතුරුව මේ පිළිබඳ පැහැදිලි කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කොට ඇත.

එම චෝදනාවන්ට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය කිරිඇල්ල මහතා ප්‍රකාශ කොට ඇත්තේ මේ මොහොතේ මධ්‍යම අධිවේගී මාර්ගයට එරෙහිව කතා කරන අය වැඩ කළේ මේ රජය පරාජය කිරීමට මිස ජයග්‍රහණය කරවීමට නොවන බවත් අධිවේගී මාර්ගයක් නුවරට ඉදිකරනවාට බොහෝ දෙනකු තුළ ඇත්තේ ඊර්ෂ්‍යාවක් බවත්ය.

කිරිඇල්ල ඇමැතිවරයා කරුණු පැහැදිලි කරමින් සිටියදී ඊට සම්බන්ධ වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා මධ්‍යම අධිවේගී මාර්ගය තුළ සිදුවන වංචා දූෂණ පිළිබඳ මතක් කරමින් දැඩි ලෙස කියා ඇත්තේ තමන් කියන දේ අහන්න බැරි නම් ඊට ඔවුන්ගෙන් කිසිම සහයෝගයක් නොලැබෙන බවයි.

මෙම වාග් සංග්‍රාමයෙන් අනතුරුව ජනාධිපතිවරයා අවධාරණය කොට ඇත්තේ අධිවේගී මාර්ගය නිර්මාණය කිරීම නිසා ඇති වී ඇති පරිසර ගැටලු විසඳීම සඳහා තාවකාලික එකඟතාවකට පැමිණිය හැකි නමුත් අග්‍රාමාත්‍යවරයා පැමිණි පසුව මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීරණයක් ගත යුතු බවයි.

මෙහිදී කිරිඇල්ල ඇමැතිවරයාගේ සහයෝගයට පැමිණ ඇත්තේ රවුෆ් හකීම් ඇමැතිවරයා පමණි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී කියා ඇත්තේ අධිවේගී මාර්ග ඉදිකරනවා නම් එය දෙපැත්තට ඇද ඇද නොසිට කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙසයි.

 කේතක යතීන්ද්‍ර බස්නායක