අධිකරණ නියෝග නොතකා ගමන් කළ විශ්වවිද්‍යාල සිසුන්ගේ සයිටම් විරෝධී පා ගමනට කොල්ලුපිටිය මංසන්ධියේ දී ඊයේ (10) සවස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.

සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය පා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

විශ්වවිද්‍යාල සිසු පිරිස ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කිරීමේදී දැඩි වාහන තදබදයක්ද ඇති විය.
‍පොලිසිය විසින් ගාලු මුවදොර මාර්ගය, කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දමන ලදී. සිසුන් මාර්ග බාධක ඉවත්කර කලහකාරී ලෙස හැසිරීම නිසා ‍පොලිසිය විසින් කඳුළු ගෑස්, ජල ප්‍රහාරය එල්ල කරන ලදී.

විශ්වවිද්‍යාල සිසුන් සංවිධානය කරන ලද මෙම විරෝධතාවට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක්ද නිකුත් කර තිබුණි.

ඒ අනුව මහජනතාවට සහ වාහනවලට බාධා වන අයුරින් උද්ඝෝෂණ නොකළ යුතුය, ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් හෝ සාමය කඩවන සුලු අයුරින් ඇතුළු නොවිය යුතුය යනුවෙන් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.  මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයෙන් තුවාල ලත් සිසුන් 13 දෙනකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 සාලිය කුමාර ගුණසේකර